පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය

9:41 AM




අහසේ පායන සඳුගේ ගමන මුල්කොට එළඹෙන පෝය දින හෙවත් උපෝසථ දින උදාව විශේෂ ආගමික වතාවත්හි යෙදීම පිණිස බුද්ධ කාලයට පෙරාතුව සිටම වෙන්ව තිබිණ. වෛදිකයෝ අමාවක හා පුර පසළොස්වක දින උපෝසථ දින වශයෙන් සලකා යාග හෝම පැවැත්වීමට යොදා ගත්හ. ජෛනයෝ ද මෙදින, ගෘහ ජීවිතයෙන් මිදී ව‍්‍රත සමාදානයෙහි යෙදුනාහ. අපමහා බෝසතාණන් බෝසත් කාලයේදී තවුසකුව උපන් කල්හි තිරිසන් සතුන් ද උපෝසථයෙහි පිහිටුවා නිවන් මග යොමුකළහැයි බෝසත් සිරිතෙන් හෙළිවේ. ඇතැම් ජාතක කථාවන්හි එන අයුරු පෝය දින මාඝාත පනවා ඇත.

මහාමායා දේවීන් ඇසළ පුන් පොහොයට සත් දවසක් ඇති කල පටන් ගෙන ..... පොහෝ දවස් ගඳ දියෙන් නහා මල් ගඳ විලවුන් ගෙනැ සව්බරණින් හැඳ සතර ලක්ෂයක් ධන විසඳා මහදන් දී වරභෝජන වළඳා පෙහෙව දිව විමන් පරයන සිරියහන් ගැබට වැද ...... (හොවනා) කල ස්වප්නයක් දුටුයනාදී වශයෙන් සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගත්තේ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව සිටි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී යැයි අමාවතුර සඳහන් කරයි.

බෝධිසත්ත්ව හා බුද්ධ කාලීන භාරතීය සමාජයේ ප‍්‍රචලිතව පැවති උපෝසථ දින ආගමික චාරිත‍්‍ර ඉටු කිරීමේ සිරිත බෞද්ධ සමාජය තුළ ස්ථාපනය වූයේ, බිම්බිසාර මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ස්වාමීනි අන්‍ය තීර්ථකයන් පොහොය දිනය සිය ආගමික වතාවත්හි යෙදීමට යොදා ගන්නා බැවින් බෞද්ධයනට ද ගිහි පැවිදි දෙපක්ෂයේම යහපතට හේතුවන සේ, පොහොය දිනයන්හි ආගමික වතාවත්හි යෙදී ධර්මානුකූලව කටයුතු වල යෙදීමට, අනු දැන වදාළොත් මැනවැයිකරන ලද ඉල්ලීමට අනතුරුවය. 

බුදුරජාණන් වහන්සේ එවකට සමාජ සම්මතව තිබූ මෙම උපෝසථ චාරිත‍්‍රය ප‍්‍රතික්ෂේප නොකොට පොහොය දින ආරාමයන්ට රැස්ව අෂ්ටාංගශීල සමාදානාදියෙන් ධර්මානුකූලව කටයුතු කිරීම අනුදැන වදාළ සේක. එසේම භික්ෂූන් වහන්සේට තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමොක් උදෙසන්ට අනුදැන වදාරා උපෝසථ කර්ම ද ආරම්භ කළ සේක.

අංගුත්තර නිකායේ විසාඛූපොසථ සූත‍්‍රයේ සඳහන් පරිදි දිනක් ජේතවනාරාමයට පැමිණි විශාඛා මහෝපාසිකාව එදින පෝය දින බැවින් තමා පෙහෙවස් සමාදන්ව පැමිණි බව දැන්වූ අවස්ථාවේ   ”විශාඛාවෙනි විසූ අටැගින් යුත් පෙහෙවස මහත් ඵල ඇතියේ වෙයි, අනුසස් ඇතියේ වෙයි, මහත් දිලූම් ඇතියේ වෙයි,” යැයි වදාරා රහතුන් වහන්සේ අනුකරණය කොට සිල් සමාදන් වීම මහත් ඵල මහානිසංස වන බව ගෙනහැර දක්වා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ අයුරින් රහතන් වහන්සේ ආදර්ශ කොට පෙහෙවස් සමාදන් වීම වඩා වැදගත් බව පෙන්වා දුන් සේක. පොහෝ දින අෂ්ටාංග ශීල සමාදානය ගිහි වතක් (ගහට්ඨවත්තං) වශයෙන් ද සුත්ත නිපාතයේ දැක්වේ. අංගුත්තර නිකායේ උපෝසථ වග්ගයේ යම් පුරුෂයෙකු හෝ යම්කිසි මාගමක් හෝ අටගින් යුත් පෙහෙවස් වැස මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙව්ලොව දෙවියන් හා සහවාසයට එළඹෙන බව දක්වා දේශනා කොට වදාළ සේක. එහෙයින් සිල්වත් ස්ත‍්‍රී පුරුෂයන් විසින් අටගින් යුතු පෙහෙවස් වැස සුව උදා කරන නිවන් මග යා යුතුය.

ධර්මාශෝක මහ රජු ස්වකීය සෙල්ලිපි මගින් පෝදා පෙහෙවස් සමාදන් වීමට නියම කොට ධර්ම ව්‍යාප්තිය සිදු කළේය. දිල්ලි තෝප‍්‍රා ටැම් ලිපියට අනුව පුර අටවක්දා හෝ අව අටවක්දා හෝ තුදුස්වකදා හෝ පුර පසළොස්වක දා හෝ පුනාවසි නකත්දා හෝ තුන් සෘතුව පටන් ගන්නා දිනයෙන් හෝ සැණකෙළි දා හෝ ගොනුන් කර නොහැඹිය යුතුය අසුන් හෝ ගොනුන් හණ ගැස්වීම නොකළ යුතුය, යනුවෙන් නියම කිරීමෙන් ද අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කාලය නියම කොට ඒ තාක්කල් හැම දෙනම අෂ්ටාංග ශීලය සමාදන්ව රක්ෂා කළයුතු බවට රාජ ආඥාවක් පැනවීමෙන් ද උපෝසථ දිනය ආගමානුකූලව ගත කිරීමට ජනතාව යොමු කළේය.

අමාවතුරේ පෙහෙවස් විසූ ජනයන් පොහොය පොහොය අවුත් දෙවියෝ රන් පත ලියාගනිත්යනුවෙන් ද, සද්ධර්ම රත්නාවලියෙහි පොහෝදා නොවරදවා පෙහෙවස් විසුවාහු බුදුන් බාධා නැතුව දකිතියනුවෙන් ද පොහොය පෙහෙවස් සමාදන් වීමේ අගය හුවා දක්වා ඇත.

ශක‍්‍ර දේවේන්ද්‍රයා පුර පෝයදා අටසිල් සමාදන්ව සිටින මනුලොව සද් ජනයන්ට නමස්කාර කළ බව කියැවේ. පොහෝ දින අටසිල් රකින තැනැත්නා දෙවියන්ගේ ද වැඳුම් ලබන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වරක් ශක‍්‍ර දේවේන්ද්‍ර රාජයා මනුලොව දෙසට හැරී වඳිනු දුටු මාතලී දිව්‍ය පුත‍්‍රයා එසේ වැඳීමට හේතු විචාළ කල්හි අටසිල් සමාදන්ව ධර්මයේ හැසිරෙන මනුලොව වැසි ජනයන්ට නමස්කාර කළ බව ප‍්‍රකාශ කළහ. මෙනයින් බලනවිට අටසිල් සමාදන්වීම යනු දෙවියන් විසිනිදු පුදනු ලැබීමට හේතුවන මහාර්ඝ පුණ්‍ය කර්මයක් සේ පෙනේ.

ලක්වැසි ජනයන්ට පොහොය දින උපෝසථ සීල සමාදන් වීම හා ආගමික ජීවිතය හුරු වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු දහම මෙහි වැඩමවීමෙන් අනතුරුවය. එතැන් පටන් ලක්දිව උපාසක උපාසිකාවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදුනාහ. කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූහ.

දුටුගැමුණු රජතුමා (ක‍්‍රි. පූ. 161 - 137) හතර පෝය දින අටමස්ථානයෙහි පහන් දැල්වීමට තෙල් සැපයූ වග ද, සෑගිරියේ ලෙනක පෝය දින අටසිල් සමාදන් වූ සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැුයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බව ද, වසභ රජු (ක‍්‍රි. ව. 65 - 109) අනාවැකි කරුවන් විසින් තමන් අල්පායුෂ්ක බව දැන්වීමෙන් අනතුරුව, සංඝයා වහන්සේගේ උපදෙස් අනුව පොහොය අටසිල් සමාදන්ව දීර්ඝායුෂ ලැබූ වග ද වංශ කතාවන්හි සඳහන් වේ. ඒ අනුව ඔහු වසර 44 ක්ම රජ කිරීමට වරම් ලැබූහ. මහා පරාක‍්‍රමබාහු රජතුමා ද සිව් පොහොය දිනයන්හි රාජාභරණයෙන් තොරව පිරිසිදු සුදු වස්ත‍්‍ර හා උතුරු සළු පැළද මනා ලෙස පෙහෙවස් සමාදන්ව ආරක්ෂා කළ වග ද එදින සතුන්ට අභය දානය දුන් බව ද කියැවේ.

මෙසේ පොහොය දිනය සියලූ කර්මාන්තයන්ගෙන් මිඳී, කෙලෙස් මලින් බැහැරව, දාන ශීල භාවනාදී පුණ්‍ය ක‍්‍රියාවන්හි යෙදුණු ලක්වැසි බෞද්ධයනට එදින නිවාඩු දිනයක් ද විය. නිති පන්සිල් හා පොහොය අටසිල් සමාදන්ව ධර්මානුකූලව ජීවත්ව සාරධර්ම පිරි ආදර්ශමත් ජීවිත ගත කිරීමට ලක්දිව බෞද්ධ උපාසක උපාසිකාවන්ට එමගින් අවස්ථාව සැලසිණ. ඔවුහු බොහෝ විට පුර පසළොස්වක පොහොය දිනය පමණක් නොව පුර අටවක, අව අටවක, අමාවක යන පොහොය දිනයන්හි ද අටසිල් රැුකීම, වෙහෙර විහාර කරා ගොස් මල් පහන් පූජා කිරීම හා බණ දහම් ඇසීම වැනි පුණ්‍ය ක‍්‍රියාවන්හි යෙදී සිටියාහුය.

එම පෝය දින නිවාඩුව ලන්දේසි ආණ්ඩුකාර විල් හෙල්ම් ෆෝල්ක් විසින් 1770 නොවැම්බර් මස 01 වෙනි දින අහෝසි කරන ලදී. දෙවනුව 1817 දී අපේ‍්‍රල් මස 05 වන දින සිට සබත් දිනය පැවැත්වීමට බල කිරීමෙන් ඉංග‍්‍රීසිහු එය වඩාත් තහවුරු කළහ.

එසේ තිබියදී යටත්ජිත භාර මහලේකම් ජී.ටී.ඇම්. ඕ. බූසන් මහතා ක‍්‍රි. ව. 1885 මාර්තු මස 22 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව වෙසක් පුර පොහොය දිනය බෞද්ධයනට නිවාඩු දිනයක් බවට පත්විය. අපේ ජාතික නායකයන් කීප දෙනෙකුගේ උත්සාහයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඩඞ්ලි සේනානායක අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් 1965 දෙසැම්බර් 22 වන දින සිට සතර පෝය හා ඊට පෙර දින වරුවක් නිවාඩු බවට පත්කරන ලදී. මෙම පෝයදින නිවාඩුව දැනට පුර පසළොස්වක පෝය දිනට පමණක් සීමාවී ඇත.

පෙහෙවස් සමාදන්වීමට පෙර සූදානම


පොහොයක් පොහොයක් පාසා පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් මහත් ශ‍්‍රද්ධාවෙන් පොහෝ දිනට පෙර දින ඉස් සෝදා නා පිරිසිදු විය යුතුය. පෙහෙවස් සමාදන්ව සිට ගෙදර දොර කළමනා ගැන සිතීම හා විචාරීම නුසුදුසු බැවින් පසු දින ගෙදර දොරේ කටයුතු කළමනා ඒ ඒ අයට පවරා සියලූ කටයුතු වලින් හිත නිදහස් කරගැනීම අගනේය. පසුදින අලූයම පෙහෙවස් සමාදන් වීමට අපේක්ෂිත විහාරස්ථානය කරා ගොස් භික්ෂූන් වහන්සේ නමක ලවා පළමුව සරණ ශීලයෙහි පිහිටුවා අෂ්ටාංග ශීලයෙහි පිහිටීම සුදුසුය වේ. භික්ෂූන් වහන්සේ නමක් නොසිටින්නේ නම් අන් කිසි කෙනෙකු ලවා හෝ තමන් විසින්ම හෝ සිල් පද සමාදන් විය හැකිය.

සීලයෙහි පිහිටිය යුතු ආකාරය


උපාසක උපාසිකාවන් විසින් පළමු කොට තමන් විසින් පිහිටන සරණ ශීලය නොබිඳිය යුතුය. යම් හෙයකින් සමාදන් වූ සරණ ශීලය බිඳුනේ වී නම් යළි එහි පිහිටිය යුතුය. අනතුරුව අෂ්ටාංග ශීලය සමාදන් විය යුතුය.

අෂ්ටාංග ශීලය.

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං
ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං
ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං
ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං
ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං
ගච්ඡාමි

ඔකාස අහංභන්තෙ අඡ්ඡු ඉමං දිවසං උපොසථං උපවසාමි අටඨාංග සමන්නාගතං සීලං සමාදියාමි

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  3. අබ‍්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  5. සුරාමෙරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  7. නච්චගීතවාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  8. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

  • පරපණ නැසීමෙන් වැළකෙමි.
  • නුදුන් දෙය ගැනීමෙන් වැළකෙමි.
  • ග‍්‍රාම්‍ය වූ සප්තවිධ මෛථුන ධර්මයෙහි යෙදීමෙන් වැළකෙමි. (වැරදි කාමයෙන් වැළකීමයි)
  • බොරු කීමෙන් වැළකෙමි.
  • මත් පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙමි.
  • ඉර අවරට ගිය පසු (දවල් 12 න් පසු)  ආහාර ගැනීමෙන් වැළකෙමි.
  • නැටීම, ගී ගැයීම, වැයීම, උසුළු විසිළු, විකාර දර්ශන බැලීම, මල් හා සුවඳ වර්ග ඇග ගැල්වීමෙන් වැළකෙමි.
  • උස් අසුන් මහ අසුන් (උස් හා අධික කාමය අවුස්සන සුළු ආසන ඇඳ මෙට්ට ආදිය) භාවිතයෙන් වැළකෙමි.
 
අටසිල් සමාදන් වූවෝ රහතන් වහන්සේ උපමා කොට මෙම සිල්පද යළි යළිත් මෙනෙහි කළ යුත්තාහ. සැදැහැ සිතින් බණ භාවනා සිදු කළ යුත්තෝය.

අෂ්ටාංග ශීලය සමාදාන් වීමේදී පංචශීලයට අයත් තුන්වෙනි ශික්ෂා පදය වූකාමේසුමිච්ඡාචාරායන යන සික පදය වෙනුවට අබ‍්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදංයන සික පදය සම`ග එහි අනෙක් සික පද ද එකතුව විකාලභෝජනා වේරමණී සික්ඛාපදං” - ”නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං” - හා උච්චාසයනා මහා සයනා වේරමණී සික්ඛා පදංයන සික පද තුනත් එක් කොට අෂ්ටාංග ශීලය සමාදන් විය යුතු වේ.
දස ශීලයේදී අමුතුවෙන් එක්වන්නේ ජාතරූප රජත පටිග්ගහනා වෙරමණී සික්‍ඛාපදංයන්න පමණි. (රන් රිදී මුතු මැණික් අගනා වස්තු පරිහරණයෙන් වැළකීම) මෙහිදී අටසිල් ගන්නා සිල්පදයෙහි මාලාගන්ධ විලේපන මණ්ඩන විභූසනට්ටානා වේරමණී සික්ඛාපදය වෙන්ව යෙදී ඇත.

උපෝසථ සූත‍්‍රයට අනුව යටකී අබ‍්‍රහ්ම විරමනය ශ්‍රේෂ්ඨ චර්යාවකි. විකාල භෝජනය නම් භෝජන අර්ථයෙන් සැලකෙන කැඳ බත් ආදි පෙරවරුවෙහි වැළඳිය යුතු ආහාර විකාලයේ වැළදීමයි. (හිරු අවරට යෑමෙන් පසුව කැඳ බත් ආදිය වැළදීමයි.) නච්ච ගීත වාදිත විසූක දස්සනයනු තමා නැටීම හා අනුන් ලවා නැටවීම, තමා ගායනා කිරීම හා අනුන් ලවා ගායනා කරවීම ද, වාදිත නම් බෙර ආදිය තමා ගැසීම හා අනුන් ලවා ගැස්සවීම ද වේ. මේවා බුද්ධ දේශනාවට පටහැනි බැවින් වැළකිය යුතුවේ. එමගින් කායවාග්ද්වාරයෙන්ම අකුසල සිදුවේ. ගද සුවඳ විලේපන ඇග තැවරීම ද නොකොට යුත්තේය. ශරීර විභූෂණය ද නොවටනේය. මාලා ගන්ධ විලේපන ද පෙහෙවස් සමාදන් වූවන්ට සුදුසු නොවන්නේය. වඩු රියනක ප‍්‍රමාණයට වඩා උච්චාසයන මහාසයන නොසෙවිය යුතුය. කළාල පැදුරු ආදිය භාවිතය වඩා ගැලපේ. සප්ත විධ මෛථුනයෙන්ම ශීලය කඩ වේ.

සිල් පද සමාදන් වූ තැන් පටන් අන් කෙනෙකුට හිංසා පීඩා ක්‍රෝධ කිරීම් ආදියෙන් තොරව, රාජකාරි විධානයන්ගෙන් බැහැරව, වියහියදම් ගණන් නොබැලීමෙන්, අනුන්ගේ වග ඵල ගැන නොසොයා හිස් වචන කථාවෙන් බැහැරව සිල් රැුකිය යුතුය. එවිට සිල් කිලිටු නොවන්නේය. නොසිඳෙන්නේය. ක්‍රෝධයෙන් හා රාජ කථා, චෝර කථා ආදියෙන් යුක්ත වීමෙන් සිල් බිඳෙන්නේය. කිලිටි වන්නේය.

භික්ෂූන් වහන්සේ නමක් සංසුන්ව දන් වළඳන ආකාරයට සිල්ගත් උවැසි උවැසියන් ද හීල් දානය හා දවල් දානය වැළදීම යුතු වන්නේය. බණ ඇසීම, බුදුගුණ සිහි කිරීම, තමන්ගේ සීලය ගැන සිත සිතා සිල් රැුකීම, වඩාත් වටනේය. නිතර සිත පිරිසිදුව තබා ගත යුත්තේය. අෂ්ටාංග ශීලය රැුකිමෙන් ඇතිවන ලාභ සත්කාරයන් හෝ කීර්ති ප‍්‍රශංසා ආදිය ගැන සිහිපත් නො කොට සිල් පද රැකිය යුතුය.

සිල් කිලිටි වූ විට ඉතිපිසෝ භගවා අරහං” ”- ස්වාක්ඛාතො භගවතා ධම්මො” - ”සුපටිපන්නො භගවතො සාවක සංඝොයනුවෙන් බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ගුණ සිහි කොට නැවත පිහිටිය යුත්තේය.

ක්‍රෝධාදි පාප සිතුවිලි වලින් මිඳී උපන් පාප සිතුවිලි මැ, නූපන් පාප සිතුවිලි නූපදවීමෙන්, කුසල් දහම්හි යෙදීමෙන්, කල්‍යාණ මිත‍්‍ර සම්බන්ධතාවයෙන්, සද්ධර්ම ශ‍්‍රවණයෙන් හා සුචරිතාදර්ශීව ජීවත් වීම තුළින් අෂ්ටාංග ශීල සමාදානයේ නිසිඵල ලැබිය හැකි වන්නේය.

තෙරුවන් සරණ ගොස් සරණ ශීලයෙහි පිහිටන උපාසක උපාසිකාවන් නිත්‍ය ශීලය නම් වූ පංචශීලයෙහි හා උපෝසථ දිනයන්හි අෂ්ටාංග ශීලය ද ඊට අමතරව හැකිනම් දස ශීලයෙහි ද නොසිඳ නොබිඳ පිහිටීමෙන් හා දැහැමෙන් සෙමෙන් ජීවත් වීමෙන් උපාසක පද්ම භාවයටපත්විය හැකිය. එසේ ශීලයෙහි පිහිටා දස කුසලයන් වඩා දස අකුසලයෙන් මිඳී කටයුතු කරත් නම් ලොව්තුරා සම්පත්තිය ලද හැකි බව සම්බුද්ධ දේශනාවයි.

අටසිල් සමාදන් වූවෝ එක රැයක් එක් දවාලක් අෂ්ටාංග ශීලය සමාදන්ව නොසිඳ නොකඩා රකින්නේ නම් ඒ කුසලයෙන් තව්තිසාවේ උපදිති. අෂ්ටාංග ශීලය නිසි සේ රක්ෂා කළවුන් අනන්තවත් දිව්‍ය ලෝක වල උපන් බව බුදුන් වහන්සේ වදාළ සේක. මෙසේ මහත් කුසල විපාක ගෙන දෙන අෂ්ටාංග ශීල සමාදානය හා එය නොසිඳ නොබිඳ ආරක්ෂා කිරීමෙන් නිදුකින් ජීවිතය ගතකළ හැකිය. මෙම බුද්ධෝද්පාදයේ දී ලත් මනුෂ්‍යාත්ම භාවයේ අග‍්‍ර ඵලය අෂ්ටාංග ශීල සමාදානයෙන් ලබා සසර ජයගත හැකි බව වටහාගත යුතුය. මේ සඳහා අඩුම තරමින් දිනපතා පන්සිල් රැුකීමට අමතරව පුර පසළොස්වක පොහොය දිනයන්හි අටසිල් සමාදන් වීම ආදි ආගමානුකූල ජීවිතයකට හුරුපුරුදු විය යුතුය.



You Might Also Like

0 comments

"යමෙක් ධර්මය දකී ද හේ මා දකී"
~බුදුරජාණන් වහන්සේ~