නවම් මස පුරපසළොස්වක පොහොය දිනය

8:41 PM

නවම් පුර පසළොස්වක පොහොය දිනය ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අති උදාර පූජනීය දිනයක් වශයෙන් සැලකේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙත අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානය, ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය (සංඝ සම්මේලනය) සිදුවීම, ශාසනයේ පැවැත්ම සලකා   ”ඕවාදපාතිමොක්ඛය” දේශනා කිරීම, චාපාල චෛත්‍යය වෙත වැඩම කොට ආයුසංස්කාරය හරිමැයි තීරණය කිරීම යනාදී ශාසනික වූත් අතිපූජනිය වූත් වැදගත් ශාසනික කරුණු රැුසක් සිදුවී ඇත්තේ නවම් මස පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙනය.

ලෝකානුකම්පාවෙන් වේළුවනාරාමයෙහි සිව්වණක් පිරිස් මධ්‍යයෙහි ධර්මාසනාරූඪව වැඩහිඳ ධර්ම දේශනා කරන සේක් දුරින් ඉන්නා වූ උපතිස්ස කෝලිත දෙමිතුරන් දැක ”මහණෙනි, තෙල එන්නා වූ පරිබ‍්‍රාජක දෙදෙනා මාගේ අග‍්‍රශ‍්‍රාවකයෝ වෙති” යි වදාරා ඔවුන්ට පෙරගමන් පිණිස සවණක් රැුස් විහිදුවා වදාළ සේක. බුදුරැුසින් ප‍්‍රසන්න වූ සිත් ඇති ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රීපාද මූලයෙහි වැද හෙව අපි ඔබවහන්සේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලබනු කැමැත්තෙමුයි දැන්වූහ. එකල්හි සැරියුත් මුගලන් පිරිවැජියන් දෙදෙනා ප‍්‍රමුඛ පිරිවර පරිබ‍්‍රාජකයන් දෙසියපනසක් සෘද්ධිමය පාසිවුරු ඇතිව මහණ උපසම්පදාව ලැබූහ. මහණ වූ සත් දවසකින් මුගලන් මහ තෙරුණ් වහන්සේ රහත් බවට පැමිණි අතර මහණ වූ පහළොස් දවසකින් සැරියුත් මහ තෙරුණ් වහන්සේ රහත් වූහ. නවම් මස මැදි පොහොය දවසම වේළුවනාරාමයට රැුස්වූ දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි චතුරංගයකින් සමන්විත ශ‍්‍රාවක සංඝරත්නය විෂයෙහි ප‍්‍රථම සංඝ සන්නිපාතය පවත්වා සැරියුත් මුගලන් දෙයාළුවන් පිළිවෙලින් දකුණුත් හා වමත් අගසව්වන් වශයෙන් පත්කොට වදාළ සේක.

අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි උන්වහන්සේගේ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේලා දෙනම මල් ආසන පූජා කිරීමේ ආනිසංස දක්වා කළ ධර්ම දේශනාවක් අසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග‍්‍රශ‍්‍රාවක තනතුර ප‍්‍රාර්ථනා කිරීමෙන් දෙන ලද නියත විවරණ අනුව අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සමයෙහි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම රජගහනුවර උපතිස්ස කෝලිත නම් ගම් ප‍්‍රධානීන්ගේ පුතුන් ලෙස ඉපිද මිතුරුදමින් වෙලී සිටියහ. මේ මිතුරන් දෙදෙනා ගිහි ගෙයි කළකිරී දසියපනසක් පිරිස් සම`ග බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූහ. රූපසාරි බැමිණියගේ පුත් බැවින් සැරියුත් යනුවෙන් ද මොග්ගලී නම් බැමිණියගේ පුත් බැවින් මොග්ගල්ලාන නමින් ද පළමුව බුදු සසුන්හි පැවිදිව රහත් වූ මහතෙරුන් සිටියදී මෙසේ අගසව් තනතුරු ලාභය ලැබූහ. මහරහතන් බවට පත්ව අග‍්‍රශ‍්‍රාවක පදවි සම`ග සැරියුත් මහරතන් වහන්සේ ප‍්‍රඥාවන්තයන් අතර අග‍්‍රස්ථානය ද මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිවන්ත භික්ෂූන් අතර අග‍්‍රස්ථානය ද ලැබූහ. විශිෂ්ඨ ගුණ සමූහයකින් යුක්ත වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ප‍්‍රථම ශාසනික තනතුරු ප‍්‍රදානය ලැබූ නවම් මස මැදි පොහෝ දිනය සදානුස්මරණීය පූජනීය දිනයක් වන්නේමය.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ වෙත අගසව් තනතුරු පවරා බුදුරජාණන් වහන්සේ ශාසනයේ ඉදිරි පැවැත්ම සලකා බලා භික්ෂූන් වහන්සේ වෙත ප‍්‍රථම බෝධියෙහි  ඕවාදපාතිමොක්ඛය නමින් පළමු විනය නීති මාලාව දේශනා කොට වදාළේ ද යටකී නවම් පුර පසළොස්වක පොහෝ දිනයේදීමය. බුදුරජාණන් වහන්සේගේ විසිවසක් වූ ප‍්‍රථම බෝධිය නොකැලැල්ව, නොකිලිටිව පැවතිණ. එකල භික්ෂූන් වහන්සේගෙන් වැරදි සිදු නොවිණ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ශ‍්‍රාවක සංඝයා වහන්සේ තුළ කෙමෙන් වර්ධනය වූ දුර්වලතා සමනය කොට හික්මීම සඳහා ශාසනයේ පැවැත්ම අරභයා ප‍්‍රථම බෝධියේදී  ඕවාදපාතිමොක්ඛය දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනයකය.

වේළුවනාරාමයෙහි ප‍්‍රථම සංඝ සන්නිපාතය පැවැත්වීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය වෙත වැඩම කොට මෙයින් තෙමසක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පා ආයුසංස්කාරය හරිමැයි තීරණය කළ කල්හි මහ පොළොව කම්පා වූයේ ද එයින් කුතුහලයට පත් ආනන්ද තෙරුණ් වහන්සේ ඒ ගරන හේතු විමසූ විට භූචලන හේතු අට ද ක්‍ෂත‍්‍රිය බ‍්‍රාහ්මණාදී පිරිස් අට ද භාවනා කරන්නේ නම් ප‍්‍රභුත්වය විදහා පාන සමාපත්ති නම් වූ විමොක්ෂ අට ද දේශනා කොට වදාලේ උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනයකමය. මෙනයින් බලන විට නවම් පොහොය දිනය බෞද්ධයන්ට ශ්‍රේෂ්ඨ දිනයක් මෙන්ම අමරණීය දිනයක් ද වන්නේමය

You Might Also Like

0 comments

"යමෙක් ධර්මය දකී ද හේ මා දකී"
~බුදුරජාණන් වහන්සේ~