මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය

12:59 AM

මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන්වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැනය.


බුුදුරජාණන්වහන්සේ බුදුබව ලබා රජගහ නුවර බිම්බිසාර රජු පූජා කළ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන බව දත් සුද්ධෝදන පිය මහ රජු පුත‍්‍ර ස්නේහයෙන් පීඩිතව බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස අමාත්‍යවරු නව දෙනෙකු සමඟ නවදහසක් රාජපුරුෂයන් නව වාරයක රජගහනුවරට යැවූහ. එසේ ගිය ඔවුහු හැමදෙනා ”එහි භික්ෂු භාවයෙන්” මහණව එහිම වාසය කළහ.

බුදුරජාණන් වහන්සේ අද අද කිඹුල්වතට වඩිතැයි ම`ග බල බලා ශෝකයෙන් වෙළී සිටි සුද්ධෝදන මහ රජු දස වන වාරයෙහි බෝසතුන් සමඟ එක දා උපන් කාලූදායි නම් ඇමති දහසක් රාජ පුරුෂයන් සමග වේළුවනාරාමයට පිටත් කර යවා බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන එන ලෙස නියම කළහ. තමාට එහි ගොස් පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් යා හැකි බව කාලූදායි ඇමති පැවසීය. ඒ අවසරය ලැබූ පසු රජගහනුවරට ගිය කාලූදායි ඇමති හා පිරිස බුදුන් දැක බණ අසා ”එහිභික්ෂු භාවයෙන්” මහණව රහත් බවට පත්වූහ. අනතුරුව සුද්ධෝදන මහ රජතුමාගේ ඉල්ලීම දන්වනු වස් පළමුව ගාථා සැටකින් රමණීය ලෙස ගමන් ම`ග වර්ණනා කොට ගමනට සුදුසු පරිදි හේමන්තය ගෙවී වසන්තය එළඹ ඇති බව බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සුද්ධෝදන මහරජුගේ ඉල්ලීම සැලකර සිටියේය.

මහාවීර භාග්‍යවතුන් වහන්ස භගීරථ පරම්පරානුගත ශාක්‍යනට හිතසුව පිණිස වැඩම කිරීමට කාලය පැමිණ ඇත. තුරුලතාවෝ නවදළු ලියලා ඵල දැරීමට සුදුසුව සිටිති. පිපුණු මලින් සුවඳ විහිදුවති. හේමන්තය ගෙවී සුවය ගෙන දෙන වසන්තය එළඹී ඇත්තේය. කාලය ඉතා අගනේය. දැඩි සීත හෝ දැඩි උෂ්ණය හෝ නැත්තේය. වැස්ස වසී. ගොවීහු කුඹුරු සාති. බීජ වපුරති. යි යනුවෙන් කිඹුල්වතට වඩින ගමන් ම`ග රමණීය ලෙස වර්ණනා කොට ගාථා සැටකින් කිඹුල්වත්පුරට වැඩ කරවීමේ මාගේ ප‍්‍රාර්ථනාව සඵල කරදෙන්නැයි කාළුදායි මහරහතන් වහන්සේ ආයාචනා කොට සිටියහ.

එවිට බුදුරජාණන් වහන්සේ ද පූර්වයෙහි බුදුරජාණන්වහන්සේලා ඥාති සංග‍්‍රහය කළ අයුරු දැක විසි දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන යොදුන් සැටක් පමණ ම`ග ගෙවා කිඹුල්වතට වැඩම කිරීමට ගමන් ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයකදීය.

බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ උපන් කිඹුල්වත් පුර දෙසින් හමනා මදනල පවා සිතට ගතට සුවදායක බව දෙසා වදාළ පරිදි සුද්ධෝදන පියරජුන් යසෝදරාවන් රාහුල කුමරුන් ඇතුළු සිය ඥාති පිරිසට සංග‍්‍රහය පිණිස කිඹුල්වතට වැඩම කළ මැදින් පුර පසළොස්වක පෝය දිනය සකල ලෝක වාසි බෞද්ධයනට ශ්‍රේෂඨ දිනයක් වන්නේමය.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලූවනාරාමයෙන් ගමන් ඇරඹූ පසු කාලූදායි මහරහතන් වහන්සේ දිනපතා අහසින් වැඩම කොට තථාගතයන් වහන්සේ විසිදහසක් මහරහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් නුවරට වැඩම කිරීම ඇරඹූ බව සුද්ධෝදන රජතුමා වෙත දන්වා පිය රජු හා සෙසු ඥාතීහු බුදුන්වහන්සේ කෙරෙහි අපමණ ලෙස පැහැදවූහ. මේ නිසාම පසුව කාලූදායි රහතන් වහන්සේ ඥාතීන් පැහැදවීමේ අග‍්‍රස්ථානය ද ලැබූහ.

රජගහනුවර සිට යොදුන් සැට ගෙවා සැට දිනකට පසු වෙසක් මස පුර පසළොස්වක පෝය දා බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහරතන් වහන්සේලා කිඹුල්වත් පුරයට ලඟාවූහ. මානයෙන් යුක්ත වූ ශාක්‍යයෝ තමන් වැඩිමහල් බැවින් නො වඳිම්හයි සිතා බාල කුමාර කුමරියන් පෙර ම`ගට යවා තමන් පසු පසින් ගියහ. ඥාතීන්ගේ සිත් පිළිවෙල දත් බුදුරජාණන් වහන්සේ දස දහසක් සක්වල ඒකාලෝක කරවමින් යමා මහ පෙළහර පා වදාළ සේක. මෙම අසිරිය දුටු දිව්‍ය මනුෂ්‍ය බ‍්‍රහ්ම ආදී සකල ලෝක සත්ත්වයෝම නනාවිධ පූජා පැවැත්වූහ. මේ අසිරිමත් රුවන් සක්මන හා යමක ප‍්‍රාතිහාය ර්‍්‍ය දැක සුද්ධෝදන මහරජු සතුටු කඳුලෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් තම හිස මත තබාගෙන තුන්වන වැඳුම සිදු කළේ ද බුදුව කිඹුල්වත්පුරට වැඩි ගමනේදීය. මෙසේ රජතුමා වැඳි කල්හි මානය බිදී ගිය සෙසු ශාක්‍යයෝ ද මහා ආදර සත්කාරයෙන්, ගෞරව නමස්කාරයෙන්, බුදුරජාණන් වහන්සේ පි¥හ. එවිට වට මහ වැස්ස නිමිති කොට වෙස්සන්තර ජාතකය දේශනා කොට වදාළ සේක.

කිඹුලූවත් පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහරහතන් වහන්සේලාට වැඩ සිටීම සඳහා නන්දා නම් දිව්‍ය උද්‍යානය පරදවන ශාක්‍යයන්ගේ නිග්‍රෝධ උයනෙහි කරවා තිබූ නිග්‍රෝධාරාමය පූජා කොට පිළිගන්වන ලදී. එදා රාත‍්‍රියෙහි සෙසු මහරහතන් වහන්සේ සමඟ නිග්‍රෝධාරාමයෙහි වැඩසිටි බුදුරජාණන්වහන්සේ පසුදින උදෑසන පූර්වයෙහි බුදුරජාණන් වහන්සේගේ කුලගම් වැඩමවූ ආකාරය බලා වදාරා විසිදහසක් පමණ රහතන් වහන්සේ පිරිවරන ලදුව ගැලසකක් පමණට පැණ නැගුණු පියුමෙන් පියුමට ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩි සේක. මෙසේ ගෙයින් ගෙට පිඬුසිඟා වඩින සැටි සීමැදුරු කවුලූවෙන් දුටු යශෝදරා දේවිය සුරතල් රාහුල කුමරුට ඈත වඩින බුදුහිමියන් පෙන්වා නරසීහ ගාථා අටකින් දෙතිස් මහා පුරුෂ ලකුණින් හෙබි බුදුහිමි ගුණ වැනුවාය. වහා සුද්ධෝදන පිය මහරජු වෙත ගොස් බුදුහිමි පිඬුසිඟා වඩින අයුරු දන්වා සිටියාය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත්ව වහ වහා පෙරම`ගට ගොස් වැඳ වැටී මාගේ ප‍්‍රිය පුතණුවන් වහන්ස, ශාක්‍ය වංශයේ ඉපිද මෙසේ පිඬුසිඟා වඩින්නේ ඇයිදැයි විමසූ විට ”මහරජ, මාගේ වංශය දීපංකරාදී බුද්ධ වංශය යි එහි සිරිත මෙබඳු බවත් දක්වා මහම`ගදී සුද්ධෝදන මහරජු වෙත ”උට්ඨාන වීර්යය ඇත්තේ නොපමා වන්නේය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. ධර්මයේ හැසිරෙන්නා මොලොව පරලොව දෙක්හිම සුවසේ වාසය කරන්නේය. යනුවෙන් දෙසූ දේශනාව ඇසූ පිය මහරජු සෝවාන් ඵලයෙහි පිහිටියේය.

අනතුරුව බුදුහිමි රජගෙට වැඩමවා පිළිගැන්වූ දානය වළදා දෙසූ දහම් අසා මහරජු සකෘදාගාමි ඵලයට පත්වූහ. මහාප‍්‍රජාපතී ගෝතමී සුළු මවට ද දම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවා මෙතෙක් තමන් වහන්සේ දැක ගැනීමට නොපැමිණි යසෝදරාවන් වෙත පියමහරජු සම`ග වැඩ කොට පියරජු විසින් පැවසූ ඇගේ ගුණ වර්ණනා අසා සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි ජාතක කථාවන් ගෙනහැර දක්වා බණ දේශනා කිරීමෙන් අනතුරුව නිග්‍රොධාරාමයට වැඩම කළහ.

රජ ගෙදරට වැඩම කළ දෙවන දිනයෙහි මහාප‍්‍රජාපතී ගෝතමී දේවියගේ පුත් නන්ද කුමරුගේ කඩු බඳින මඟුල, ගෙවදින මඟුල හා ජනපද කල්‍යාණි රාජකුමාරිය සමඟ සරණ මඟුල යන තුන් මඟුල නියමිතව තිබිණ. එදින දානය පිණිස නන්ද කුමරුගේ මැදුරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දන් වළඳා පාත‍්‍රය නන්ද කුමරු අතට දී ආරාමයට කැඳවාගෙන ගොස් මහණ කිරීම සිදුවූයේත්, රාහුල කුමරු දායාදය ඉල්ලා ගෙන පසු පස පැමිණි විට උතුම් දායාදය ලෙස පැවිදි කරවන ලෙස අගසව් සැරියුත් මහරහත් වහන්සේ වෙත පැවරූ සේක. මේ බව ඇසූ සුද්ධෝදන මහරජු මහත් සොවින් පැමිණ දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව කුල දරුවන් මහණ නොකරන්නැයි කරන ලද ඉල්ලීම අනුව බුදුජාණන් වහන්සේ එය අනුදැන වදාළ සේක. මෙනයින් බලන විට ද මැදින් පෝය දිනය ලක්වැසි ජනතාවට විශේෂ වැදගත් දිනයකි.

මැදින් පෝය දිනය ලක්වැසි ජනතාවට විශේෂයෙන් වැදගත් දිනයකි. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ශී‍්‍ර පාද ලාංඡුනය පිහිටි ශී‍්‍ර පාදය වන්දනාකිරීමට බැතිමතුන් වැඩි වශයෙන් ගමන් ආරම්භ කරනුයේද මෙම පෝය දිනයේදී බැවිනි.

මෙබදු උතුම් ශාසනික කටයුතු කීපයකටම මුල්වූ මැදින් පොහොය දිනය බෞද්ධයන්ට අති උතුම් පෝය දිනයක් වන්නේමය.

You Might Also Like

0 comments

ShareThis