දහම් ලිපි සරණිය: ඇසළ පෙරහර

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label ඇසළ පෙරහර. Show all posts
Showing posts with label ඇසළ පෙරහර. Show all posts

Aug 25, 2020

නුවර අහස යට

10:27 AM 0
නුවර අහස යට

 ගස කොළ යටින් දිවෙනා සුදු වැලි    පාර   

කෙළවර ඔබට හමුවෙනු ඇත මහ      පාර

පිච්චී බිඳක් උණු වී දිලිසෙන              තාර

පාර කියයි නුවරට අඩියක්                 නෑර


සේනානායක වීදියෙ කෙළවර                

යන්න සෙමින් බඩුකඩ ඇති පේළිය        

දෙනෙත් යොමනු එම වීදියෙ කෙළවර   

වළාබැම්ම ඇති එහි පෙනෙනා සුද          

 

Jun 27, 2020

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය

11:27 AM 0
වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය


සෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි විරාජමානව වැඩසිටින්නා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත තේවා බුදු පුද චාරිත්‍ර හා පූජෝපහාර පෙරහර මංගල්ලයන් අදටත් චිරාගත සාම්ප්‍රදායානුකූල පුද සිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි. එකී නන් විධ පූජා විධි අතර දෛනික තුන්වරු බුද්ධ පූජා, සතියේ බුධ දිනයෙහි නානුමුර මංගල්ලය, පසළොස්වක පොහෝ දිනයන්හි පොහෝ දින පූජා හා වාර්ෂිකව සතර මංගල්ලය ප්‍රධාන තැනක් ගනී. ඉන් වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්ලය යන සතර මංගල්ලය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන්ය.


ඇසළ පෙරහර මංගල්ලය

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධ කාලයෙහි මෙන්ම බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැම දෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ. දඹදිව ධර්මාශෝක රජු දවස භාරතයෙහි පෙරහර පූජෝත්සව සංකල්පය වඩාත් ප්‍රචලිත විය. බෝධිසත්ව සමයෙහි බෝධිසත්ව චරිතයෙහි සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, චම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල් කොට නන්විධ පූජා පෙරහර පැවැත්වින. සුරාසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණ සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණ. එසේම ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක‍්ෂාවෙන් නන්විධ පූජා පෙරහර පැවැත්වූ අයුරු දක්නා ලැබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව රජු දක්වා දළදා වහන්සේ විවිධ පුද පූජා පෙරහර පැවැත්වූහ.

Aug 13, 2013

ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ

1:28 PM 1
 ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ
කන්ද උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග‍්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප‍්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග‍්‍රහය ලබා දුන්හ. ශ‍්‍රී දළදා මාළිගාව හා අවශේෂ සිද්ධස්ථානයන් ද ශ‍්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන් ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප‍්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි. රාජකීය අනුග‍්‍රහය නැති වී යාමත් සම`ග එම කලා පරපුර වලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වින. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප‍්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත‍්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප‍්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබීම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.

Aug 3, 2013

ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

1:08 PM 0
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)
ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

අතීත තොරතුරු

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන්ම, බෝධිසත්ත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූ‍ජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය‍ වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාගෘහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට නන්විධ පූජා පෙරහර පැවැත් වූ වග මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතින. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසය‍ටම යෙදී තිබිණ. ඇසළ මාසයෙහි ‍නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් නන්විධ පූජා‍ පෙරහර පැවැත්වූ වග දක්නට ලැබේ.

Aug 2, 2013

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

12:43 AM 0
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි.

මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර බොහොමයක් බෞද්ධ ආගමික හා හින්දු ආගමික පුද සිරිත් සමඟ සංකලනය වී සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වය ඉස්මතු කෙරෙමින් පවතී. අද පටන් ප්‍රචාරය කෙරෙන එම අති උතුම් මංගල්ලය හා බැ‍ඳුණු ලිපි සංග්‍රහයේ පළමු ලිපිය මෙයයි.