දහම් ලිපි සරණිය: පන්සිල්

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Showing posts with label පන්සිල්. Show all posts
Showing posts with label පන්සිල්. Show all posts

Apr 19, 2015

පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය

10:11 PM 0
පන්සිල් සමග පොහොය අටසිල් සමාදානය



අහසේ පායන සඳුගේ ගමන මුල්කොට එළඹෙන පෝය දින හෙවත් උපෝසථ දින උදාව විශේෂ ආගමික වතාවත්හි යෙදීම පිණිස බුද්ධ කාලයට පෙරාතුව සිටම වෙන්ව තිබිණ. වෛදිකයෝ අමාවක හා පුර පසළොස්වක දින උපෝසථ දින වශයෙන් සලකා යාග හෝම පැවැත්වීමට යොදා ගත්හ. ජෛනයෝ ද මෙදින, ගෘහ ජීවිතයෙන් මිදී ව‍්‍රත සමාදානයෙහි යෙදුනාහ. අපමහා බෝසතාණන් බෝසත් කාලයේදී තවුසකුව උපන් කල්හි තිරිසන් සතුන් ද උපෝසථයෙහි පිහිටුවා නිවන් මග යොමුකළහැයි බෝසත් සිරිතෙන් හෙළිවේ. ඇතැම් ජාතක කථාවන්හි එන අයුරු පෝය දින මාඝාත පනවා ඇත.

මහාමායා දේවීන් ඇසළ පුන් පොහොයට සත් දවසක් ඇති කල පටන් ගෙන ..... පොහෝ දවස් ගඳ දියෙන් නහා මල් ගඳ විලවුන් ගෙනැ සව්බරණින් හැඳ සතර ලක්ෂයක් ධන විසඳා මහදන් දී වරභෝජන වළඳා පෙහෙව දිව විමන් පරයන සිරියහන් ගැබට වැද ...... (හොවනා) කල ස්වප්නයක් දුටුයනාදී වශයෙන් සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගත්තේ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව සිටි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී යැයි අමාවතුර සඳහන් කරයි.

බෝධිසත්ත්ව හා බුද්ධ කාලීන භාරතීය සමාජයේ ප‍්‍රචලිතව පැවති උපෝසථ දින ආගමික චාරිත‍්‍ර ඉටු කිරීමේ සිරිත බෞද්ධ සමාජය තුළ ස්ථාපනය වූයේ, බිම්බිසාර මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ස්වාමීනි අන්‍ය තීර්ථකයන් පොහොය දිනය සිය ආගමික වතාවත්හි යෙදීමට යොදා ගන්නා බැවින් බෞද්ධයනට ද ගිහි පැවිදි දෙපක්ෂයේම යහපතට හේතුවන සේ, පොහොය දිනයන්හි ආගමික වතාවත්හි යෙදී ධර්මානුකූලව කටයුතු වල යෙදීමට, අනු දැන වදාළොත් මැනවැයිකරන ලද ඉල්ලීමට අනතුරුවය.