භාග්‍යවත් මාසය වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි. ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය දිළිඳු පැලේ සිට මහා මන්දිරයේ වෙසෙන ළමා ලපටි තරුණ මහළු සෑම සියළු දෙනා එකට එක්වී සමරණ මහා ජාතික ආගමික මංගලෝත්සවයකි.
අප රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක් ද වශයෙන්
සලකා කටයුතු කිරීම බෞද්ධයන්ගේ සිරිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලීන මානව සමාජය තුළ
පැතිර පැවති සිරිත් විරිත් විශ්වාස කිසි විටෙක හෙළා නොදුටු සේක. ඒ අනුව කෘෂිකාර්මික
ජීවන ක‍්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින් පැවත එන සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර බොහොමයක්
ශී‍්‍ර දළදා මාළිගාව තුළ දාඨා ධාතුන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප‍්‍රදායික චාරිත‍්‍ර
වශයෙන් අඛණ්ඩව රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පවත්වා ගෙනැවිත් වර්තමානයට උරුම වී ඇත.
මෙසේ අලුත් අවුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලූත් අවුරුදු මංගල්ලය ශී‍්‍ර දළදා මාලිගාවේ
වාර්ෂික සතර මංගල්ලයන්ගෙන් එක් මංගල සම්මත මංගල්ලයක් වේ.
මහනුවර ශී‍්‍ර
දන්තධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්යය වන්නේ ශී‍්‍ර දළදා මාළිගාවේ
දියවඩන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත‍්‍රය සැකසීමය. එකී
නැකැත් පත‍්‍රයට අනුව,
1.
අලුත් අවුරුදු උදාව
2.
කණ්ඨස්නානය
3.
කිරි ඉතිරවීම
4.
මුළුතැන් පිළියෙල කිරීම හා පූජා කිරීම
5.
නානුමුර මංගල්ලය
යන ප‍්‍රධාන අවස්ථාවන්
සඳහා සුබ නැකැත් සම්පාදනය කරනු ලැබේ.
මෙසේ සකස් කරනු
ලබන සංවත්සර අවුරුදු මංගලෝත්සව නැකැත් පත‍්‍රයට අනුව ශී‍්‍ර දළදා මාළිගාව ප‍්‍රධාන
සියළු වෙහෙර විහාර දේවාලයන්හි නියමිත වේලාවට අවුරුදු චාරිත‍්‍ර ඉෂ්ට සිද්ධ කරනු ලබයි.
අවුරුදු දිනයට පෙරින් විදානේවරු ලවා දළදා මාළිගාව පවිත‍්‍ර කරවා සැරසීම සිදුකෙරේ. දළදා
මාළිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීමට අලුත් වළං ගෙනැවිත්
භාර දිය යුතුය.
අලුත් අවුරුදු
දිනයේදී නියමිත නැකැත් පත‍්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි, සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදු කෙරේ.
කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තාහික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය
කරනු ලබන චාරිත‍්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලබන මංගල්ලයකි. මෙම අති උතුම් චාරිත‍්‍රය
සිදු කරනුයේ වට්ටෝරුරාළගේ සහාය ඇතිව තේවාව භාර නාහිමිපාණන් වහන්සේ විසිනි.
අලූත් අවුරුද්ද
උදෙසා කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ඉටු කිරීම ද ශී‍්‍ර දළදා මාළිගාවේදී සිදු කෙරෙන සුවිශේෂි
චාරිත‍්‍රයකි. රටට, ජනතාවට සෞභාග්‍යය, සමෘද්ධි ප‍්‍රාර්ථනා කොට වැඩසිටින මාලිගාවේ රිදී ද්වාරය ඉදිරිපිට සඳගල අභියසත්, පල්ලේමාලේ දොරටුවෙහි සඳගල අසලත්, මුළුතැන්ගේත් යන තුන් ස්ථානයේදී ලිප් බැඳ අලුත්
වළං තුළ කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ඉටුකෙරේ. මෙම අවස්ථාවට තේවාභාර හිමිවරු ද, දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවෝ ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි
වැනි සත්ව කිරි භාවිතා නො කරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම සාමාන්‍ය සිරිතය. මෙදින
නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට මුළුතැන් බුද්ධ
පූජා මංගල්ලය සිදුකෙරේ.
එළඹෙන ආසන්නම
බදාදා දිනයේදී නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදු හඳුන්, රත් හඳුන්, කුංකුම, ගෝරෝචන, කුංකුමප්පු, විෂ්ණු ක‍්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස් නාරං මුල්, බෙලි මල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ, ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම සමව ගෙන සාදනු ලබන නානු භාවිතා
වේ. නානුමර මංගල්ලය සඳහා නානු බෙදාදීමේදී ශී‍්‍ර දළදා මාළිගාවෙන් නානු සකසා කුඩා මුට්ටිවල
අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් වන විහාරස්ථාන හා
සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදා දීම චිරාගත සම්ප‍්‍රදායයි. මෙම නානුවලින් නැකතට
අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් පැවැත්වේ.
පුණ්‍ය කාලය තුළ
ද, අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශී‍්‍ර දළදා මාළිගාව පිරී
ඉතිරී යනු දැකිය හැකිය. නව වසර සෞභාග්‍යමත් නිරෝගිමත් එකක් බව පත් කරගැනීම සඳහා දළදා
වන්සේගේ ආශිර්වාදය ලබාගැනීම එමගින් අපේක්ෂිතය.
ඔබ සැමට සුබ නව වසරක් වේවා.
තෙරුවන් සරණයි.
No comments:
Post a Comment