ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

12:38 AM

ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය වන අයුරු. (අතීතයේ හා වර්තමානයේ)

අතීත තොරතුරු

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන්ම, බෝධිසත්ත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූ‍ජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය‍ වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාගෘහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට නන්විධ පූජා පෙරහර පැවැත් වූ වග මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතින. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසය‍ටම යෙදී තිබිණ. ඇසළ මාසයෙහි ‍නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් නන්විධ පූජා‍ පෙරහර පැවැත්වූ වග දක්නට ලැබේ.

දඹදිව කළිඟුරට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව ආදී රජදරුවෝ ද දළදා වහන්සේ විෂයෙහි විවිධ පූජා පෙරහර පැවැත්වූහ. දන්ත පුරයේ දී දළදා වහන්සේ වඩා හිඳුවා පූජාසත්කාර සිදු කළා වූ දළදා මැදුර, පසු කලෙක ‘ජගන්නාථ දේවාලය’ වී යැයි මතයක් ද පවතී. එහි අදටත් පෙරහර මංගල්ලයන් පැවැත්වේ.

ලක්දිව ඇසළ පෙරහරේ ප්‍රභවය ගජබාහු රජු (ක්‍රි.ව. 174 – 196) දකුණු ඉන්දියාවේ චෝලය ‍ආක්‍රමණය කොට, ස්වකීය පිය රජු කල මෙරටින් රැගෙන ගිය දොළොස් දහසක පිරිස හා ඊට හිලව්වට එරටින් ද්‍රවිඩයන් දොළොස් දහසක්ද රැගෙන ආපසු පැමිණීමත්, පත්තිනි දේවමෑණියන්ට කැප වූ රන් සළඹ ගෙන ඒමත්, පත්තිනි දේවමෑණියන් වෙනුවෙන් දෙවොළක් ගොඩනැංවීමත් මුල් කොට සිදූ වූ බව ප්‍රකටය.

ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු පෙරහර පැවැත්වීමේ චාරිත්‍රය මෙරට වඩාත් තහවුරු විය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය ‍ප්‍රථමයෙන්ම ලක්දිව ආරම්භවූයේ කිත්සිරි මෙවන් රජ දවස ක්‍රි.ව. 310 වැන්නේ දී ය. වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනූවක් තිස්සේ මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසගතය. කහවනු නවලක්ෂයක් වැය කොට පැවැත්වූ මෙම පෙරහර මංගල්ලය නො කඩ කොට පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජ නියෝගයක් ද පැනවීය. එසේ ප්‍රදර්ශන පූජා පෙරහර පැවැත්වීම ඉතිහාසය පුරා සිදුවී ඇත. අවසන් දළදා ප්‍රදර්ශන පූජා පෙරහර මංගල්ලය ක්‍රි.ව. 1828 වැන්නේ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර සමයේ සිදුවිය. එම පෙරහර විචිත්‍රවත් ලෙස පවත්වා මහමළුවේ පනවා තිබූ විසිතුරු මණ්ඩපයෙක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනය සඳහා මහාසංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහු ද, විවිධ තරාතිරමේ ඉංග්‍රීසි නිලධාරීහු ද සහභාගී වූහ. එම දළදා ප්‍රදර්ශනය මහමළුවේ පැවැත්වෙත්ම නියඟය අවසන් වී මහවැසි ඇද හැලී ගංගා, ඇළ දොළ පිරී මහ ගංවතුරක් ඇති වූ බව පළ වේ. ඒ නිමිති කොට ‘දළදා වතුර’ නමින් කාව්‍යයක් ද නිකුත් විය.

පැරණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්ලය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුවය. රජවරු හා රාජ්‍ය නිලධාරීහු පෙරහරේ ගමන් ගත්හ. එසේම ඉඩකඩම් වෙන්කොට දී අවශ්‍ය නිලකරුවන් ද පත්කොට රාජකාරී පවරා දී තිබිණ. පෙරහර මංගල්ලය පැවැත්වීම සඳහා අවශ්‍ය ධනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්විය. අද වනතුරු බුද්ධ ගෞරවය ශ්‍රද්ධාව පදනම් කොට දළදා වහන්සේ විෂයෙහි ආමිෂමය පූජාවක් වශයෙන් චිරාගත සම්‍ප්‍රදායික පුද සිරිත් අනුව මහනුවර ඇසළ පෙරහර මංගල්ලය අඛණ්ඩව පැවැත්වේ.

වර්තමානයෙහි පවත්නා ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම ඇරඹුනේ සියම් දේශයෙන් වැඩමකළ ප්‍රවර උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. එතැන් පටන් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණ.


මහනුවර පෙරහරේ වර්තමාන සංවිධානය


වර්තමාන පෙරහර සංවිධානය සංකීර්ණ ක්‍රියාවලියකි. එහිදී ද විවිධ චාරිත්‍ර  අනුගමනය කෙරේ. වර්ෂයේ ආරම්භයත් සමඟම වාගේ ඇසළ පෙරහර මංගල්ලය සඳහා දින වකවානු වෙන්කරවා ගෙන මූලික කටයුතු සූදානම් කරති. වෙසක්, පොසොන් පෙරහර මංගල්ලයන් අවසන්වත්ම පෙරහර මංගල්ලයට අවශ්‍ය අලි අතුන් ලබාගැනීම සඳහා අලි ඇත් හිමියන් දැනුවත් කිරීමටත්, අලි ඇතුන්ගේ ඇඳුම් කට්ටල පිළිසකර කරවා ගැනීමටත්, අලුත් ඇඳුම් සූදානම් කරවා ගැනීමටත්, පන්දම් ආදී පෙරහර උපකරණ අලුත්වැඩියා කරවා ගැනීමටත්, අවශේෂ අඩුපාඩු සපුරා ගැනීමටත් පියවර ගැනේ. අනතුරුව ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා පෙරහර සඳහා වෙන් කරවාගත් දිනයන්ට අදාලව සුභ නැකැත් පිළියෙල කරගැනීම සිදුවේ. ඉන්පසු මල්වතු, අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි රාජ්‍ය නිලධාරීන් හා ‍ස්වේච්ඡා සංවිධානාදී නියෝජිතයන් කැඳවා පෙරහර ‍පැවැත්වීමෙහිලා අවශ්‍ය වන සේවාවන් ඉටුකරවා ගැනීමට අදාළ කරණු සාකච්ඡා කෙරේ. මෙම සාකච්ඡා රැස්වීම ශ්‍රී දළදා මාළිගාවේ දී පැවැත්වේ. මෙම මූලික රැස්වීමෙන් පසු දිසා‍ලේකම් කාර්යාලයේ  දී  දිසාපතිවරයාගේ  ප්‍රධානත්වයෙන්   රාජ්‍ය  ආයතන, පුද්ගලික ආයතන හා ස්වේච්ඡා සේවා ආයතන ආදියෙහි ප්‍රධානීන් ගෙන්වා පෙරහර සංවිධාන කටයුතු පිළිබඳව තවත් සාකච්ඡාවක් ‍පැවැත්වේ. මෙම රැස්වීමෙන් පසු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් ශ්‍රී දළදා මාළිගාවට කැඳවා පෙරහර හා සම්බන්ධ පුවත් පළකිරීම, විස්තර ප්‍රකාශන කටයුතු පවත්වාගෙනයාමාදිය පිළිබඳව සාකච්ඡා කෙරේ. 

You Might Also Like

0 comments

ShareThis