ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Oct 5, 2017

ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය


ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත. ජාතකට්ඨ කථාවේ ද පුරාතන ඉන්දියාවේ ඇසළ මාසයෙහි පැවති නැකැත් සැණකෙළියක් ගැන සඳහන් වේ. කිඹුල්වත්පුර සතියක් පුරා පැවති එම සැණකෙළියට සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා බිසව ද සහභාගි වූ බව කියැවේ.

බෝසතාණන් වහන්සේ දේවාරාධනයෙන් පස්මහ බැලූම් බලා තුසිත දෙව්ලොවින් චුතව දඹදිව කපිලවස්තුපුර සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා මව්කුස පිළිසිඳ ගැනීමත්, සිදුහත් කුමරු පෙම්බර සයෝදරාවන් සරණ කොටගෙනැ රජසැප, කම්සැප මැනවින් විඳ පිළිවෙලින් ජරා (මල්ලෙක්, ව්‍යාධි (රෝගියෙක්), මරණය හා අවසන පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැක සසරට කලකිරී එදිනම උපන් සුරතල් රාහුල පුතා හා පෙම්බර සයෝදරාවන් හැරදමා අභිනිෂ්ක‍්‍රමණය කළේත් සසරින් එතෙරෙව බුදුවී බරණැස මිගදායේ ඉසිපතනයේ විසූ පස්වග තවුසන් සොයා ගොස් ප‍්‍රථම ධර්ම දේශනාව නම් වූ ධම්මචක්කපවත්තන සූත‍්‍ර දේශනාව සිදු කොට වදාළේත් ලාභ සත්කාරයන් උදෙසා ලොව මුලාවේ හෙළමින් වංචා කෙරෙමින් සිටි පූර්ණ කශ්‍යප, මක්ඛලිගෝසාල, අජිතකේෂකම්බල, කකුධකත්‍යායනය, සංඤය බෙල්ලට්ටිපුත්ත, නිඝණ්ඨනාථ පුත්ත යන තීර්ථකයන් සය දෙනාගේ මාන මතනය කර බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් පැන නැගි අඹරුක් සෙවණෙහි යමා පහ පෙළහර පෑයේත් පූර්ව බුදුවරුන්ගේ සිරිත අනුව තව්තිසාවේ සක‍්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය පිළිගෙන එහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දේව පිරිසට අභිධර්මය දේශනා කළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකය.

රජගහනුවර වේහාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණි නම් ගල්ගුහා ද්වාරයෙහිදී අජාසත් රජුගේ අනුග‍්‍රහය ඇතිව ධර්ම විනය පිටකත‍්‍රයට බෙදා සකස් කිරීම සඳහා තෘතිය ශ‍්‍රාවක කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් රහතන් වහන්සේ පන්සිය නමක් රජගහ නුවරට වැඩම කොට වස් සමාදන් වී මූලික කටයුතු සංවිධානය කළේත් ඇසළ පුන් පොහෝ දිනයකය. ක‍්‍රි. ව. 276 දී මහින්ද මහරහතන් වහන්සේ විසින් මෙරටට වැඩමවනු ලැබූ සම්බුද්ධ ශාසනය නියම ආකාරයෙන් ප‍්‍රතිස්ථාපනය වීම සඳහා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහණ උපසම්පදාව ලැබූයේත් ඇසළ පුන් පොහෝ දිනයකය. ඇසළ පුන් පෝය දින පොහොය කොට ඇසළ අවපෑලවියට පෙරවස් විසීම ඇසළ පුන් පොහෝ දිනයේදී සිදුවේ.

ක‍්‍රි. ව. 310 වැන්නේදී කිත්සිරිමෙවන් මහරජුගේ පටන් පැවැත්වෙන දළදා පූජෝපහාර ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් රන්දෝලි මහ පෙරහැර පැවැත්වෙනුයේත් ඇසළ පුන් පොහෝ දිනයේදීය. කීර්ති ශී‍්‍ර මහරජුගෙන් පටන් ගත් ශී‍්‍ර දළදා මාලිගාව පෙරටු කොට සිව්මහා දේවාලයේ පෙරහැර මංගල්ලයෙහි අවසන් මහ රන්දෝලි පෙරහැර යෙදී තිබුණේත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනටය. එහෙත් දැනට ඇතැම් වර්ෂයන්හි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයට එම අවසන් මහ පෙරහැර යෙදෙන අයුරුද දක්නා ලැබේ.

”යමෙක් ධර්මය දකී ද හේ මා දකී” යන දේශනා පාඨයෙන් හා ”ආනන්දය මා විසින් යම් ධර්ම විනයක් දේශනා කරන ලද්දේ ද ඒ ධර්ම විනය තෙම මා ඇවෑමෙන් ශාස්තෘ නම් වන සේකැයි” දැක්වෙන දේශනා පාඨය තුළින් ද තථාගතයන් වහන්සේ විසින් සුදේශිත ශී‍්‍ර සද්ධර්මය ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසම වර්ණිත වේ. සියලූ කෙලෙසුන් නසා ගුරුවරයෙකු නොමැතිව, ස්වකීය වීර්යෙන් ඥාන ශක්තියෙන් උතුම් සර්වඥතා ඥාන දර්ශනය අවබෝධ කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනයේදී වුවත්, දෙමසකට පසු ප‍්‍රථම වරට එම ශ්‍රේෂ්ඨ ගැඹුරු ධර්මය, දේශනා කොට වදාළේ ඇසළ පුන් පොහෝ දිනයේදීය. එබැවින් සමස්ත ලෝකවාසී බෞද්ධයෝ ඇසළ පෝය දිනය උතුම් මංගල මහෝත්සව දිනයක් වශයෙන් සලකති.

තමන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මයෙහි ප‍්‍රථම ධර්ම දේශනාව කළ යුත්තේ කවරෙකුටදැයි විමසා බලද්දී ධර්මය සොයා යන ගමනේදී තමන් වහන්සේට උපකාරී වූ ආලාරකාලාම සහ උද්දකරාමපුත්ත යන අය ගැන පළමුව හා දෙවනුව සිහිපත් වූ නමුදු ඔවුන් ජීවතුන් අතර නැති බව දැන අනතුරුව සය වසක දුෂ්කර ක‍්‍රියා සමයේදී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන, ඔවුන් සොයා එහි වැඩම කළ සේක.

බුදුරජාණන් වහන්සේ වැඩම කරන ආකාරය ඈත සිටම දුටු පස්වග තවුසන් ”ශ‍්‍රමණ භවත් ගෞතම තෙමේ වීර්යයෙන් මිඳී කාමසුඛල්ලිකානුගෝගීව සිට දැන් අප කරා එයි. පෙර ගමන් නොකිරීමටත්, නොවැඳීමටත්, උවටැන් නොකිරීමටත් කතිකා කොට කැමතිනම් අසුන් ගැනීමට අසුනක් පැනවූහ.

එහෙත් කතිකා කරගත් පරිදි ක‍්‍රියා කිරීමට නොහැකි වූ ඔවුහු පසුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව දැන ධර්මය ඇසීමට එකග වූහ. මිනිසුන් අතුරෙන් පස්වග තවුසන් හා දෙව් බඹුන් සහිත පිරිසක් ප‍්‍රථම ධර්ම ශ‍්‍රවණය සඳහා සහභාගි වූහ. මෙම ප‍්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත‍්‍රය මාතෘකා කොට දේශනා කළ සේක. (ධම්ම යනු ඥානයයි, චක්ක යනු පැවැත්මයි, ඥානය චක‍්‍රාකාරව පැවතීම ධම්මචක්කපවත්තන සූත්ත නම් වෙයි.)

”ධම්මචක්තපවත්තන සූත‍්‍ර” දේශනාවට අනුව කාමසුඛල්ලිකානු යෝගය (අනාර්ය වූ ළාමක වූ ග‍්‍රාම්‍ය වූ පංචකාමයේ ඇලීම), අත්තකිලමථානු යෝගය (අනාර්ය වූ දැඩි වූ දුක් උපදවන දැයෙහි ඇලීම) යන අන්ත දෙකෙන් මිඳී මධ්‍යම ප‍්‍රතිපදාව හෙවත් ආර්ය අංෂ්ටාංගික මාර්ගය පිළිපැදීමෙන් කෙලෙසුන් නසා සත්‍යාවබෝධය හා නිර්වාණය ලද හැකිවේ.

චතුරාර්ය සත්‍යය (ඇත්ත සතර) වනාහි දුක (දුක්ඛ), දුක ඉපදීමට හේතුව (දුක්ඛ සමුදය), දුක ඉපදීමට හේතුව නැති කිරීම (දුක්ඛ නිරෝධය), දුක ඉපදීමට හේතුව නැති කිරීමේ මාර්ගය (දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා) යනුයි. මෙහි දුක යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. දුක ඉපදීමට හේතු වනුයේ නැවත නැවත ඉපදීම ඇතිකෙරෙන තෘෂ්ණාවයි. දුකින් වැළකීම යනු තෘෂ්ණාව නැසීමයි. දුකින් මිදීමේ මාර්ගය වන්නේ සම්මා දිට්ඨි (නිවැරදි දැකීම), සම්මා සංකප්ප (නිවරැුදි සිතුවිලි), සම්මා වාචා (නිවැරදි වචනය), සම්මා කම්මන්ත (නිවැරදි ක‍්‍රියාව), සම්මා ආජීව (නිවැරදි ආජීවය), සම්මා වායාම (නිවැරදි වෑයම), සම්මා සති (නිවැරදි සිහිය), සම්මා සමාධි (නිවැරදි සමාධිය) යන අට මගයි.

මෙකී මූලික ධර්ම කරුණු ඇතුළත් දම්සක්පැවතුම්සුතුර ශ‍්‍රවණය කිරීමෙන් පසු පස්වග තවුසෝ බලවත් සතුටට පත්වූහ. දෙවියෝ ද බ‍්‍රහ්මයෝ ද මහ හඩින් සාධු නාද කළහ. මහ පොළොව කම්පා විය. තවත් විසතුරු අසිරිමත් දේ සිදුවිය. අනතුරුව මෙසේ දේශනා කරන ලද ගාම්භීර වූ ධර්මය පළමුව දැනගත් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිණ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ද ඇසළ පුන් පොහෝ දිනයකය.

කපිලවස්තු පුර සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා දේවීන් එ දවස නැකැත් කෙළි බලා හිස් සෝදා නා දන් දී උපෝෂථ ශීලය සමාදන් වී සිරි යහන්හි සැතපුන කල්හි දෙතිස් පූර්ව නිමිති පහළ කරමින් අප මහා බෝසතාණන් මව්කුස පිළිසිඳ ගත්තේ ද ඇසළ පුන් පොහෝ දිනයකදීය.

පැරණියේදී ඇසළ මාසය සැණකෙළි මාසයක් විය. කිත්සිරි මෙවන් මහරජු සමයේ ඇරඹුණු දළදා පෙරහැර පැවැත්වූයේ ද ඇසළ මාසයේදීය. වර්තමානයේ මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික ඇසළ පෙරහැර මංගල්ලයේ අවසාන රන්දෝලි මහ පෙරහැර බොහෝ විට යෙදෙනුයේද ඇසළ පුන් පොහෝ දිනයේදීය. (මෑත භාගයේදී සිට ඇතැම් අවස්ථා වලදී නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයට ද මෙම අවසන් මහ පෙරහැර යෙදෙනු දක්නා ලැබේ.)

මෙසේ නන්විධ කරුණු කාරණා නිසා ඇසළ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහෝ දිනයක් වන්නේය.

No comments:

Post a Comment