වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Jun 27, 2020

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම හා එහි සංකීර්ණත්වය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය


සෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි විරාජමානව වැඩසිටින්නා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත තේවා බුදු පුද චාරිත්‍ර හා පූජෝපහාර පෙරහර මංගල්ලයන් අදටත් චිරාගත සාම්ප්‍රදායානුකූල පුද සිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි. එකී නන් විධ පූජා විධි අතර දෛනික තුන්වරු බුද්ධ පූජා, සතියේ බුධ දිනයෙහි නානුමුර මංගල්ලය, පසළොස්වක පොහෝ දිනයන්හි පොහෝ දින පූජා හා වාර්ෂිකව සතර මංගල්ලය ප්‍රධාන තැනක් ගනී. ඉන් වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්ලය යන සතර මංගල්ලය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන්ය.


ඇසළ පෙරහර මංගල්ලය

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධ කාලයෙහි මෙන්ම බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැම දෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ. දඹදිව ධර්මාශෝක රජු දවස භාරතයෙහි පෙරහර පූජෝත්සව සංකල්පය වඩාත් ප්‍රචලිත විය. බෝධිසත්ව සමයෙහි බෝධිසත්ව චරිතයෙහි සුවිශේෂී අවස්ථාවන් වූ සිදුහත් කුමරු මහාමායා මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, චම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල් කොට නන්විධ පූජා පෙරහර පැවැත්වින. සුරාසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණ සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණ. එසේම ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක‍්ෂාවෙන් නන්විධ පූජා පෙරහර පැවැත්වූ අයුරු දක්නා ලැබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව රජු දක්වා දළදා වහන්සේ විවිධ පුද පූජා පෙරහර පැවැත්වූහ.

ලක්දිව ද බුද්ධ පූජාමය පෙරහර මංගල්ලයන් මහින්දාගමනයෙන් පසු සඟමිත් මහතෙරණිය ශ්‍රී මහා බෝධියේ දක‍ෂිණ ශාඛාව ලක්දිවට වඩමවාගෙන ආ අවස්ථාවේ දී පැවැත්වූ පෙරහර මංගල්ලයෙන් ඇරඹුණු බව සිංහල බෝධිවංශයෙන් අනාවරණය වේ.  අකුධාතූන් වහන්සේ වැනි සර්වඥ ධාතූන් වහන්සේලා ලක්දිවට වැඩමවා මහමෙව්නාවේ මහා විහාර භූමියෙහි චෛත්‍යයන්හි තැන්පත් කිරීමේ උත්සව අවස්ථාවන්හි පෙරහර පැවැත්වූ අයුරු වංශකතාවන්ගෙන් දත හැකිය.

ඇසළ මාසය හා සම්බන්ධව දිවයින පුරා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්ලයන් අතර සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය හෙවත් දළදා පෙරහර ජීවමාන බුදුන් හා සමකොට සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වෙන ප්‍රධානතම පූජා මංගල්ලය වේ.

සිවු මහා මංගල්ලයට අමතරව වාර්ෂික වෙසක් පෙරහර මංගල්ලය, පොසොන් පෙරහර මංගල්ලය, හා වාහලනාග උපසම්පදා පෙරහර මංගල්ලය යන මංගලෝත්සවයන් ද අඛණ්ඩව සිදු කෙරේ. ශ්‍රී දළදා වහන්සේ මුල් කොට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අදටත් පවත්නා චිරාගත සාම්ප්‍රදායික තේවා චාරිත්‍ර විධි සම්මා සම්බුදුරජාණන්වහන්සේ විෂයෙහි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන්වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ බුද්ධෝපස්ථාන, බුදු පුද චාරිත්‍රයන්හි ජීවමාන නිදර්ශනයකි. ඒ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ ජීවමානව වැඩ සිටින ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආගමික, සංස්කෘතික, සාමාජික හා පුරාවිද්‍යාත්මක අග්‍රගණ්‍ය සංකේතයක් වශයෙන් මෙන්ම, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සුරක්ෂිතව පැවතීම මැදරට බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම බුද්ධාලම්භන ප්‍රීතියට හේතුවනවා නොඅනුමානය. ඉහත දැක්වූ සතර මංගල්ලයන්ගෙන් ප්‍රමුඛතම මංගල්ලය වන්නේ ඇසළ පෙරහර මංගල්ලයයි.


ලක්දිව ඇසළ පෙරහරේ ප්‍රභවය

ලක්දිව ඇසළ පෙරහරේ ප්‍රභවය ගජබාහු රජු (ක්‍රි.ව. 174-196) දකුණු ඉන්දියාවේ චෝලය ආක්‍රමණය කොට සිය පියරජු කාලයේ දී මෙරටින් රැගෙන ගිය දොළොස් දහසක සිංහල පිරිස හා ඊට හිලව්වට එරටින් ද්‍රවිඩයන් දොළොස්දහසක් ද රැගෙන පත්තිනි දේවමෑණියන්ට කැපවූ රන් සලඹ ද, සතර දේවාල දේවාභරණ ද රැගෙන ආ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.  ලක්දිවට රැගෙන ආ රන් සලඹ තැන්පත් කොට පත්තිනි දේවාලයක් ද ගොඩනංවා ඇසළ පෙරහර මුල්වරට පැවැත්වීය.

කිතුවසින් 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය ද, බෑනණුවන් වූ දන්ත කුමරු ද ආරක‍ෂාව පතා වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් අනතුරුව දළදා වහන්සේ මහපෙරහරින් අනුරපුර ධම්මචක්කගේහය නම් දළදා මාළිගාවේ සිට අභයගිරි මහවෙහෙරට වැඩමවා දින අනූවක් තිස්සේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කොට ආපසු අනුරපුර ඇතුලූනුවර දළදා මාළිගාවට වැඩමවූ පෙරහර වාර්ෂිකව රජු නියමයෙන් අනුරපුර පැවැත්වින. මෙහි සංවිධාන කටයුතු අසිරිමත් ලෙස සිදුවිය. රජු රාජ භාණ්ඩාගාරයෙන් නවලක‍ෂයක් ධන වැය කොට මෙම පෙරහර පැවැත්වීය. රජු ද හමුදාව ද පෙරහරට සහභාගි විය. පෙරහරට නියමිත දිනට දින 10 කට පෙරාතුව පෙරහර ගමන් ගන්නා මග මනාව අලංකාර ලෙස තොරන් බඳවා ධජ පතාකයන්ගෙන් මාලා දාමයන්ගෙන් බෝධිසත්ව චරිත දැක්වෙන සිතුවමින් විචිත්‍රවත් කළහ. පෙරහර ගමන් ගන්නා මග විචිත්‍රවත් ලෙස සරසා කොඩි සේසත්, ඇත්, අස් හා විවිධ නර්තනයන්ගෙන් ද, පංචතූර්ය නාදයෙන් ද, නන්විධ භේරී නාදයෙන් ද යුක්තව දළදා වහන්සේ තැන්පත් කළ කරවා අභයගිරියට වැඩමවූ වග දක්නා ලැබේ.

අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වීමත් සමග එහි සංවිධානය වඩාත් සංවිධිත වූයේ පොළොන්නරු සමයෙහි දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස ද සලකන්නට පටන් ගත් බැවිනි. අනුරපුර මෙන්ම මෙම පෙරහර ද ආරම්භයට දින කීපයකට පෙර අණඛෙරකරුවෙකු මගින් අසවල් දින පෙරහර ආරම්භභ වන බවත්, වීදි සරසා මල්, පහන්, සුවඳ දුම් රැගෙන වීදි දෙපස සිට පෙරහර නැරඹීමට එන්නැයි  ජනතාව දැනුවත් කොට රටේ සරුසාර බව පතා වැසි ලබා ගැනීමේ රිසියෙන් පෙරහර මැනවින් සංවිධානය කළ බව දක්නා ලැබේ. මෙකල අනුරපුරට වඩා පෙරහර අලංකාරවත් වූ වග මහාවංශයේ සඳහන්ය.

අනුරාධපුරයේ සිට පොළොන්නරු රාජධානියට වැඩම වූ දළදා වහන්සේ විෂයෙහි, පෙරටත් වඩා උත්කර්ෂවත් ආකාරයෙන් පෙරහර පැවැත්වූ බව මහාවංශයෙන් හෙළි වේ.  මහාවංශයට අනුව රජගෙදර පටන් දළදා මැදුර දක්වා යොදුනක් තැන්, මහමග අතුල් තලයක් සේ සමතලා කරවා, සියළු සතුන් කෙරෙහි වැෙඩහි ඇලූනේ හැම තන්හිම සිතියම් දරන්නා වූ, ලෝකානන්දයට හේතු වූ තොරන් කරවා, තොරන් යට නන් කුසුම් එල්වා, පුල්වියන් පැඩලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන්වතින් වසා බැඳ, ටැම් මුදුණත් ඡත්‍ර, චාමර පන්තීන් හා නා නා පුෂ්ප කලාපයෙන් ද, විසිතුරු කොඩියෙන් ද පූජාවට සුදුසු අන්‍ය දෙයින් ද සැරසීය. ඉනික්බිති සියලු දිශාවන් ඒකාලෝකමත් ඡත්‍ර චාමර පන්තීන් ද, විචිත්‍ර ධජ පන්තීන් ද, නානා වර්ණ පතාකාදියෙන් ද, සියලු අහස්කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අසුන්ගේ හේෂාරාවයෙන් ද, රථයන්ගේ චක්‍ර නාදයෙන් ද, භේරීන්ගේ භන්ධාකාරයෙන් ද, සියලු මංගල සංඛයන්ගේ මනෝහර ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් ද, වන්දීන්ගේ ජයඝෝෂාවෙන් ද, සාධුකාරධ්වණියෙන් ද, එසේම උක්කුටි ශබ්දයෙන් ද, සියලු බිඟුන් දොඩමළු කෙරෙමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන් විසුතුරුව සැරසී, රන් සැක් ආදියෙන් සැදුම් ලද ප්‍රවර ශෝභාව ඇති ඇතෙකු පිට නැගී, ඇමතියන් විසින් පිරිවරන ලද්දේ ප්‍රවර නගරයෙන් නික්ම, දළදා ස්වාමීන් හා පාත්‍ර ධාතූන්වහන්සේ වෙත ගොස්, ධාතු යුගලයට මනා කොට පූජා පවත්වා, ධාතූන් වහන්සේ ගෙන, මගට පිළිපන්නේය. එවිට ඔබමොබ විදුලි කොටමින් ආකාශතලය අඳුරු රැසින් වැසී ගොස්, මහත් අකාලමේඝයක් ආය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හා දළදා වහන්සේ විෂයෙහි ගෞරව භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිදු කළ මෙම පෙරහර මංගල්ලය විශ්වාස කළ ආකාරයට පෙරහර පවත්වමින් නියඟය නිමා කොට, මහවැසි ලැබිණ. දළදා පෙරහර ගමන්ගත් මග හැරණු විට අන් සියළු තැන්හි මහවැසි ඇද හැලී වැව් අමුණු පිරීගියේය.

අනතුරුව දඹදෙණි දෙවන පරාක්‍රමබාහු රජු කාලයෙහි  දඹදෙණි නුවර සිට ශ්‍රී වර්ධනපුරය දක්වා යොදුනක් හා ඉස්බක් පමණ වූ මග ඛෙර ඇසක් සේ සමකොට, මොලොක් සුදු වැලි ඇතිරීය. හිරුරැස් මුවහකළ නොයෙක් ධජ පතාකයන්ගෙන් හා කෙසෙල් ගස් පෙළින් යුක්ත වූ පුෂ්පාලංකාරයෙන් දරන්නා වූ, චිත්‍ර කර්මයෙන් මනෝඥ වූ, නොයෙක් පුන් කලසින් මග දෙපස අලංකාර විය. රජ තොරන, පට තොරන යන විසිතුරු තොරනින් යුක්ත විය. නන්වැදෑරුම් සියලු පූජා වස්ත්‍රයෙන් වෙහෙර මොනවට අලංකාර කළේය. සුදුමල් ආදිය දරා, තුණුරුවන් ගුණ ගයා, ජනයා පෙළගැසී සිටියාහ. පසුව මිහිපල් තෙමේ සියලු අභරණින් සැරසී, සිවුරඟ සෙනඟ සමග ශ්‍රද්ධාවෙන් විසිතුරු රථයෙක නැගී, දළදා වහන්සේ ගෙන, රන් කොඩි, රිදී කොඩි, රන් කලස්, රිදී කලස්, රන් සෙමෙර, රිදී සෙමෙර, රන් කරඞු, රිදී කරඞු, රන් විජිනිය, රිදී විජිනය ආදී නන්විධ පූජා භාණ්ඩයන් පෙරටු කොට පංචතූර්ය නාදයෙන් මහපූජා පවත්වමින් මග පුරා රජතුමා ගමන් කළේය. ශ්‍රී වර්ධන පුරප්‍රවරයෙහි පූජාසනය මත දළදා වහන්සේ වඩා හිඳුවා, පූජා ආරම්භ කොට ඉක්බිති සියලු ජනතාව දෑ සමන්, සපුනා ආදී පුෂ්පයන් පිදූහ. මෙසේ නන්විධ පූජාවෙන් හා ආහාර පූජාබත් පුදා, මහසඟරුවනට අට පිරිකර පුදා, තුන්යම් මහ රෑ ලක්ෂ ගණනින් ආලෝක පූජා පැවැත්වීය. නැට්ටුවන් ද, නන් ගී ගයන්නෝ ද, නැටුමින් හා මිහිරි ගීයෙන් ද, සිත් නැලවූ පසඟතුරු නාදයෙන් ද, ධර්ම කථීකයන් වහන්සේ වැඩමවා, දහම් අසා බුදුහු ආශ්චර්යයි, ධර්මය ආශ්චර්යයි, සංඝයා ආශ්චර්යයි කියමින් සාධු නාද පෙරටු කොට තුනුරුවන් ගුණ ගයා, අනුමෝදන් කොට, මිනිපල් තෙමේ නොයෙක් බුදුපුද පැවැත්වීය. පෙර සිරිත් පරිදි තුන් මසක් දළදා පූජා පැවැත්වීය. මෙම පෙරහර මංගල්ලයට දඹදෙණියේ පැවැති සිව්මහා දේවාලයන් ද සම්බන්ධ විය.

යාපහුවේ පැවති පෙරහරට, අලි ඇතුන් 490 ක් ද, අසුන් 490 ක් ද සහභාගී විනැයි ජනප්‍රවාදයේ දැක්වෙයි. මේ අනුව එහි ද පෙරහර විචිත්‍රවත්ව පැවැතුනා යැයි සලකා ගත හැකිය. දළදා සිරිතෙන් අනාවරණය වන පරිදි  දැඩි නියඟයක් පවත්නා කල්හි ද, වාර්ෂිකව ද, දළදා වහන්සේ පෙරහරින් වැඩමවිය යුතු යැයි ව්‍යවස්ථාගත කෙරිණ. දළදා උත්සවය ආරම්භ වූයේ නැකැත් බලා, දළදා ගෙය පිරිසිදු කිරීමෙන් පසුවය. සත් දවසක් තිස්සේ බත්,  මල්, පහන් පූජාකොට, සත්වන දවස පස්වරුවෙහි සුරපුරය මෙන් සරසා, උත්තර මූලායතන ප්‍රධාන තෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං යන දෙකුලයේ නිස්සන් සමග දළදා කරඞුව මෑත් කොට විසිතුරු ලෙස සරසන ලද රථයෙක, උතුම් ආසනයෙක වඩා හිඳුවා ගණවැසි, කිළිං දෙකුලයේ දෙදෙනෙකු කරඞුව වඩාගෙන එන ලෙස රථයට නැංවූහ. සුභ ලකුණින් යුත් මනා ඇතෙකු රථයෙහි යොදා, ඒ රථය පළමුකොට සුපටිපන්න මහාසඟරුවන නැඟ, පිරිත් බණ දෙසමින් පිරිත්හුය රැගෙන වැඩම කළහ. දොරණෑවැසි කුලයේ රිසි එකෙකු ලවා, රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්සීය. රථය දෙපස චාමර හා සේසත් ගත්තවුන් වූහ. දළදාගේ ධූරය හා විජ්ජතුන් රථය ළඟින් ද, රජගේ ධූරය හා විජ්ජතුන් අනතුරුව ද ගමන් කළහ. චතුරංගනී සේනාව පිරිවරා, ඇමති මණ්ඩලය ඉන් පසු ගමන් ගත්හ. දළදා මැඳුරට පෙරහර පැමිණි පසු දළදා ප්‍රදර්ශණයක් ද පැවැත්විණ.

කෝට්ටේ යුගයේ දී සතර දේවාලයන් සහභාගීත්වයෙන් පෙරහර පැවැත්වූ බව සළකා ගත හැකිය. කෝට්ටේ හය වන පරාක්‍රමබාහු රජතුමා ඉතා විසිතුරු දළදා මැඳුරක් කරවා නා නා විධ පූජාවන්ගෙන් පිදූ බව සංදේශ කාව්‍යයන්ගෙන් හෙළිවන හෙයින් වාර්ෂික පෙරහර මංගල්ලය පැවැත්වූ වග සලකා ගත හැකිය. අදටත් කෝට්ටේ රජමහා විහාරයෙහි වාර්ෂික දළදා පෙරහරක් පැවැත්වේ. එහෙත් මෙම රාජධානියේ පැවති දේශපාලන ආරවුල් නිසා පෙරහර අඛණ්ඩව නොපැවැත්වූවා යැයි සිතාගත හැකිය.

ඉන්පසු සීතාවක රාජධානියේ දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටින කාලයෙහි, පළමුවන රාජසිංහ රජුගේ නියමයෙන්, රත්නපුර මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහරේ අදටත් දළදා පෙරහර පෙරටුකොට ගමන් ගන්නා ආකාරයෙන්, පෙරහර මංගල්ලය අඛණ්ඩව පවත්වාගෙන ආවේ යැයි සිතා ගත හැකිය.

දළදා වහන්සේ තැන්පත් කර තිබූ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල ආදී සියලු රාජධානීන්හි ද ඇසළ පෙරහර අලංකාරවත් ලෙස පැවැත්වීමට සංවිධානය වූ වග හෙළි වේ.

සෙංකඩගලපුර රාජධානියට දළදා වහන්සේ වැඩමවා ගෙන ආ 1592 වැන්නේ සිට පෙර පරිදි දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස අඛණ්ඩව ඒ ඒ රජුන් දවස දළදා පෙරහර පැවති බව අදටත් මෙම පෙරහර මංගල්ලය අඛණ්ඩව පවත්වාගෙන ඒමෙන් සනාථ වේ.


උඩරට රාජධානි සමයෙහි පැවති ඇසළ පෙරහර

පැරණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්ලය සංවිධානය වූයේ රජයේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. රජවරු, රාජ්‍ය නිලධාරීහු පෙරහරේ ගමන් ගත්හ. ඉඩකඩම් වෙන්කර දී අවශ්‍ය නිලකරුවන් ද පත් කොට පෙරහරේ නියමිත රාජකාරි පවරා දී තිබිණ. පෙරහර මංගල්ලයට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ධනය වැය කළහ. වර්තමානයේ පවතින ආකාරයට මහනුවර ඇසළ පෙරහර සංවිධානය වූයේ ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එතැන් පටන් දළදා පෙරහර පෙරටු කොට සිවු මහා දේවාල පෙරහර ගමන් ගන්නා ආකාරය ඇති විය.

ජෝන් ඩේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි  නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාල කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්‍රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමා ද  මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහැර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඩුව සරසා මල් වැසි වැස්සවීය.

රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරීහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන් වූ කොඩිය ද රැගෙනෙ පොරොත්තුව සිටිති. රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණිමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රසස්ති ගායනා ආරම්භ විය.

රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන් වූ පසු රජුගේ නියමයෙන් පෙරහර පිටත්වීම ආරම්භ වේ.

කි්‍ර.ව 1828 වැන්නේ සර් එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ සමයේ දී ශ්‍රී දළදා වහන්සේ මහ පෙරහරින් බැහැරට වැඩම වු බව වාර්තාවේ.  ඉන් අනතුරුව අද වනතුරු දළදා වහන්සේ ශ්‍රී දළදා මාළිගාවෙන් බැහැරට වැඩම වූ බවක් සඳහන් නොවේ. වර්තමානයේ මංගල හස්තිරාජයා පිට වැඩම වනුයේ සධාතුක ධාතුන් වහන්සේ වැඩසිටින පෙරහර කර`ඩුවයි. ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමක් එහිදී සිදු නොවේ.

වර්තමාන මහනුවර ඇසළ පෙරහරරේ පෙළගැස්ම 1753 කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස පැවති ආකාරයට සැකසී ඇත. දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවු දේවාල ගමන් ගන්නා ආකාරයට පෙරහර සැකසුනේ එසමයේ සිටය.


මහනුවර ඇසළ පෙරහර සංවිධානයේ සංකීර්ණ කාර්ය සම්භාරය

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ සංවිධානය සංකීර්ණ වූ ක්‍රියාදාමයකි. එහිදී ද සුවිශේෂී චාරිත්‍ර කීපයක්ම අනුගමනය කෙරේ. චන්ද්‍රමාස ක්‍රමයෙන් තුන්වන මාසය වූ ඇසළ මාසය වනාහි අතීතයේ පටන් පෙරහර සැණකෙළි උත්සව සඳහා වෙන්වූ මාසයකි. වර්තමානය වන විට සුභමුහුර්තීන් යෙදෙන ආකාරයට ඇසළ හෝ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයන්ට රන්දෝලි මහපෙරහර අවසන් වන ලෙස ද, පසු දා දහවල් පෙරහර පැවැත්වෙන ලෙස ද මෙම පුදසිරිත් සිදුකිරීම සැලසුම් කෙරේ. වෙසක්, පොසොන් පෙරහර මංගල්ලයන් අවසන්වත්ම ඇසළ පෙරහර මංගල්ලයේ මූලික අවශ්‍යතා සැලසුම් කිරීම ඇරඹේ.

මූලික වශයෙන්ම ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම සඳහා සුභ නැකැත් වේලාවන් සම්පාදනය කෙරෙන අතර, ඒ හා සමගම පෙරහර ගමන් කරන මාර්ගය සැලසුම් කිරීම ද සිදු කරනු ලැබේ. අනතුරුව ඇසළ පෙරහර මූලික සාකච්ඡා පවත්වන ලෙස සිරිත් පරිදි මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා වෙත ලිඛිතව දැනුම් දීම සිදු කෙරේ. ඒ අනුව දිසාපතිතුමාගේ ආරාධනයෙන්, ගරු දියවඩන නිලමේතුමා ප්‍රමුඛ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේතුමන්ලාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, මධ්‍යම පළාත් සභාව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා  සිවිල් ආරක‍ෂක බලකායේ නිලධාරීන්, පල්ලෙකැලේ එළිමහන් සිරකදවුර හා දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඇසළ පෙරහර මූලික සාකච්ඡාව පැවැත්වේ.

ඊට ආසන්න දිනයක නර්තන කණ්ඩායම් ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් පවත්වන අතර, එහි දී පෙරහුරු වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන් දින නියම කර ගනී. පෙරහුරු වැඩසටහන් වලට සහභාගිවන ශිල්පීන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඒවා පෙන්වා දීමත්, නර්තන වස්ත්‍රාභරණ හා වාද්‍ය භාණ්ඩ ලබා දිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමත් සිදු වේ. එසේ හඳුනාගන්නා ලද කණ්ඩායම් සඳහා ඒ ඒ නර්තනාංගයන්ට හා උඩරට සම්ප්‍රදායට අනුකූල වන පරිදි, පෙරහරේ ගුණාත්මක භාවය ආරක‍ෂා වන ආකාරයෙන් නර්තන වාදන ඇඳුම් නිර්මාණය කර දීම සිදු කරනු ලැබේ.

පෙරහුරු වැඩසටහන් වලට සමගාමීව සියලුම කලාකරුවන් සඳහා වෛද්‍ය සායනයන් පවත්වා වෛද්‍ය වාර්තාවන් ලබා ගන්නා අතර, කලාකරුවන්ගේ පවුලේ විස්තර, නර්තන හැකියාව, රැකියා තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය ආදිය ද නර්තන වින්‍යාසය සහිත වීඩියෝ හා ඡායාරූප ද ඇතුළත් කොට වෙන වෙනම ජීවදත්ත තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලැබේ. මෙසේ ලබා ගන්නා තොරතුරු දත්ත ජාලයකට ඇතුළත් කරනු ලබන අතර, කලාකරුවන් සඳහා නිර්මාණය කෙරෙන හැඳුනුම්පතට කේතයක් ඇතුළත් කොට, එමගින් ඕනෑම අවස්ථාවක අන්තර්ජාලය ඔස්සේ එම තොරතුරු පරීක‍ෂා කොට බැලීමට හැකිවන පරිදි සකස් කිරීම සිදු වේ.

පෙරහුරුවෙන් පසු එම කණ්ඩායම් පෙරහරට සහභාගි කරවා ගන්නා දින වකවානු ලිඛිතව කණ්ඩායම් නායකයින් වෙත දැන්වීම හා නර්තන වස්ත්‍රාභරණ හා වාද්‍ය භාණ්ඩ ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරනු ලැබේ. පෙරහරට සහභාගි වන නර්තන හා වාදන ශිල්පීන් සඳහා නවාතැන් පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී දළදා මාළිගාවේ විශ්‍රාම ශාලාව, බහුකාර්ය ගොඩනැගිල්ල, සෙංකඩගල විශ්‍රාම ශාලාව ආදිය වෙන් කොට දීම සිදු වේ. ඒ අය සඳහා උදේ, දිවා, රාත්‍රී ආහාර ලබා දීම ආදිය ද කල් වේලා ඇතිව සැලසුම් කරනු ලැබේ. නර්තන වාදන ශිල්පීන් ශ්‍රී දළදා මාළිගාවට පැමිණි මොහොතේ පටන් ඔවුන්ගේ නවාතැන්, ආහාර පාන, සනීපාරක‍ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදී සියලු කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ඒ ඒ කණ්ඩායම භාරව වෙන වෙනම නිලධාරීන් පත් කිරීම සිදු වේ.

මේ කටයුතු සමගම අලි ඇතුන් නිර්වින්දනය හා වෙනත් උපදේශක කටයුතු සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම්වල සහාය ලබා ගැනීම සඳහා එම අංශයන් දැනුවත් කිරීම සිදු වේ.

පෙරහරේ කොඩි රැගෙන යාම සඳහා රැඳවියන් හා නිලධාරීන් ලබා ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා මාර්ගයෙන් පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරීතුමා දැනුවත් කරන අතර, ඒ සියලු දෙනා සඳහා අලූතින් ඇඳුම් සූදානම් කිරීම ද සිදු කෙරේ. ඒ අයගේ සංග්‍රහ කටයුතු, සුබසාධන කටයුතු හා ප්‍රවාහන කටයුතු ද සැලසුම් කරනු ලැබේ. පෙරහරට භාවිතා කෙරෙන කොප්පරා පන්දම් අලූත්වැඩියාව හා අලූතින් පන්දම් සකස් කර ගැනීම ද කල් ඇතිව සිදු කරන අතර, කොප්පරා පන්දම් රැගෙන යන පිරිස් හා නර්තන ශිල්පීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දැනුවත් කිරීම සිදු කරනු ලබයි. පෙරහරට සහභාගි වන නර්තන හා වාදන ශිල්පීන්ගේ නවාතැන් පහසුකම් ලබා දීම සඳහා ශාලාවන් වෙන් කිරීම ද සැලසුම් කෙරේ. අලි ඇතුන්ට විදුලි ආලෝකය සැපයීම සඳහා බැටරි ලබා ගැනීම සම්බන්ධ පිරිස් දැනුවත් කිරීම ද සිදු වේ. පෙරහර පැවැත්වෙන දිනවල ශිල්පීන්ගේ ප්‍රථමාධාර කටයුතු සිදු කිරීම සඳහා අදාළ අංශයන් දැනුවත් කරන අතර, එම නිලධාරීන්ට ආහාර ඇතුළු සුබසාධන පහසුකම් ලබා දීම ද සැලසුම් කරනු ලැබේ.

අනතුරුව පෙරහර රාජකාරි සේවාවන් වන පෙරමුණේ රාළ, ගජනායක, මංගල ඇත් රාජයා සැරසීම, කාරියකෝරාළ, පෙරමුණේ රාළ හා ගජනායක යන අය ඇන්ඳවීම, අලි ඇඳුම් තේරීම, සකස් කිරීම හා ඛෙදා හැරීම, රන්සිවිගෙය හා අලි ඇඳුම් විදුලි ආලෝක කිරීම, රන්සිවිගෙය ඇතුළු පිත්තල භාණ්ඩ පොලිෂ් කිරීම, කොප්පරා පන්දම් කරුවන් රැගෙන ඒම, කොප්පරා හා තෙල් ඛෙදා හැරීම හා ස්ථානගත කිරීම, පාවඩ එලීම ආදී කටයුතු සඳහා ඒවා භාරව ඇති පිරිස් වෙත කල්වේලා ඇතිව ලිඛිතව දැන්වීම සිදු කෙරේ. කොප්පරා හා භූමිතෙල් ආදිය ලබා ගැනීම ද, ඒවා ගබඩා කිරීමේ කටයුතු ද මේ හා සමග සිදු වේ. 

පෙරහර නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක‍ෂාව සඳහා ආරක‍ෂක වැටවල් ඉදි කිරීම ද, පෙරහර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා තාවකාලික වැසිකිළි කැසිකිළි ස්ථාපනය කෙරෙන අතර, පෙරහර මග දැක්වෙන පුවරු ද සම්පාදනය කෙරේ.

එසේම එක් එක් දිනයන් සඳහා පෙරහරට සහභාගි කරවන නර්තන වාදන කණ්ඩායම් හා අලි ඇතුන් නිවැරදිව දක්වා පෙරහර පෙළගැස්මක් සකස් කෙරෙන අතර, පෙරහර මාර්ගයේ තෙල් කොප්පරා ස්ථානගත කරන තැන් ද හඳුනා ගැනේ.

පෙරහරේ වැදගත්ම අංගයක් වන අලි ඇතුන් පෙරහරට සහභාගි කරවා ගැනීම සඳහා අලි ඇත් හාම්පුතුන්ට හමු වීමට ගොස්, ඒ අය වෙත බුලත් හුරුල්ලක් හා  සමරු ඵලකයක් පිළිගන්වා පෙරහරට අලි ඇතුන් සහභාගි කරවන ලෙස ආරාධනා කිරීම ද සම්ප්‍රදායිකව සිදු වේ. පෙරහරට සහභාගි වන අලි ඇතුන්ගේ සුභසාධනය සඳහා පශ=වෛද්‍ය කණ්ඩායම් ලබා ගැනීම, ජලය, ආහාර ආදිය නිරන්තරයෙන් ලබා දීම ආදිය ද සැලසුම් කෙරේ. ඇතුගොව්වන් සඳහා ද නවාතැන්, ආහාර පාන සනීපාරක‍ෂක පහසුකම් ලබා දීමට සියලු කටයුතු සම්පාදනය කෙරේ.

අනතුරුව පෙරහර සඳහා භාවිතා කරනු ලබන රෙදි පිළි වන සුදු දිග කලිසම්, සුදු වේට්ටි, මන්ත, සුදු සරම්, සුදු පටි, රතු පටි, දම් පටි, සුදු අත් සහිත බැනියම්, කහ සරම්, කහ කමිස, දවල් පෙරහර සරම්, දවල් පෙරහර කමිස, පන්දම් රෙදි ආදිය කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, රන්දෝලි අවසන් පෙරහර, දහවල් පෙරහර ආදී වශයෙන් ඛෙදා දිය යුතු ආකාරය වෙන් කොට හඳුනා ගැනීම සිදු වේ. එසේම පෙරහරට භාවිතා කරනු ලබන භාණ්ඩ හා උපකරණ වන කඩු, අත් පන්දම්, වඩම්මන තල අතු, මුරායුධ, ජාතික කොඩි, බෞද්ධ කොඩි, බුරුම කොඩි, දිසා කොඩි (පිත්තල හා රෙදි) සිංහ කොඩි, දීසි, පහන්, කෙන්ඩි, සේසත්, ඉරහඳ, හම් පටි, පිත්තල බට, කොඩි මිටවල්, තොප්පි, දළ කොපු, මුරායුද, අත් පන්දම්, පිත්තල පහන්, මල් පීරිසි ආදිය ද, කොප්පරා පන්දම් හා සම්බන්ධ මල් බාල්දි, බැරල්, බාල්දි, වේවැල් කූඩ, කෑන්, සවල්, වතුර හෝස් ආදිය ද ඉහත පරිදි කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, රන්දෝලි අවසන් පෙරහර, දහවල් පෙරහර ආදී වශයෙන් යොදා ගන්නා ආකාරය වෙන් කොට හඳුනා ගැනේ.

මේ ආදී කරුණු කාරණා විශාල සංඛ්‍යාවක් නිසියාකාරව සැලසුම් කිරීමෙන් අනතුරුව, ඇසළ පෙරහර මංගල්ලය සාම්ප්‍රදායානුකූලව සුභ නැකැත් අනුව වීදි සංචාරය කිරීම සඳහා සියලු කටයුතු සිදු කර අවසන් වේ. ඉන් අනතුරුව පෙරහර මංගල්ලය පැවැත්වෙන දිනයන්හි ද මේ හා සමානවම ඉතා සංකීර්ණ සංවිධාන කටයුතු රැසක් සිදු කරනු ලැබේ. ඒ අතර වැඩසිටින මාළිගාව සැරසීම, පෙරමුණේ රාළ, ගජනායක පෙරහර සහභාගි කරවීම, වැඩ සිටින මාළිගාව ඇතුළත පාවඩ එලීම, පෙරහර මාර්ගයේ පාවඩ එලීම, විදානේවරු හා අනෙකුත් රාජකාරී කරුවන් සම්බන්ධ කර ගැනීම, කර~ුව වැඩමවන ඇතා සැරසවීම, ගරු දියවඩන නිලමේතුමන්ගේ දෙපස මුරායුධ කරුවන් සම්බන්ධ කිරීම ආදිය ප්‍රධාන වශයෙන් මාළිගාව අභ්‍යන්තරයේ සිදු වේ.

පෙරහර මංගල්ලය පැවැත්වෙන දිනයන්හි දෛනිකව පෙරහර මාර්ගය පරීක‍ෂා කොට බැලීම, නර්තන වාදන ශිල්පීන් ලියාපදිංචිය හා පරීක‍ෂාව, එම ශිල්පීන්ගේ පොදු පහසුකම් හා සියලු කටයුතු අධීක‍ෂණය, එදිනෙදා ඒ අයගේ ප්‍රවාහන කටයුතු ආදිය අධීක‍ෂණය හා සියලු සුභසාධන කටයුතු පරීක‍ෂා කිරීම සිදුවන අතර, නර්තන වාදන ශීල්පීන් සඳහා සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම සඳහා ඒ අයගේ හැකියාවන් පරීක‍ෂා කිරීම ද සිදු කරනු ලැබේ.

අලි ඇතුන් සම්බන්ධයෙන් ද විශාල කාර්යභාරයක් ඇත. ඒ අතර අලි ඇතුන්ගේ සුබසාධනය පිළිබඳව දෛනිකව අධීක‍ෂණය, අලි ඇතුන් ලියාපදිංචිය, ආහාර සපයා ගැනීම හා ඛෙදා හැරීම, අලි ඇතුන් සඳහා ඇඳුම් ඛෙදා දීම, ඒවායේ විදුලි ආලෝකකරණ කටයුතු, නිර්වින්දන කණ්ඩායම් සූදානමින් තබා ගැනීම, ඇත්ගොව්වන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීම ආදිය ප්‍රධාන වේ.

කොප්පරා පන්දම්කරුවන් සම්බන්ධයෙන් ද කටයුතු රැසක් ක්‍රියාත්මක වේ. එම පිරිස් ලියාපදිංචිය, පෙරහර ආරම්භයට පෙර ඒ අයට අවශ්‍යතා සපයා දීම, කොප්පරා හා තෙල් නිසි ලෙස ඛෙදා හැරීම, කොප්පරා රැඳවුම් ස්ථාන අධීක‍ෂණය, කොප්පරා පන්දම් අලූත්වැඩියාව ඒ අතර මූලික වේ.

මේ සියලු කාර්ය සම්භාරය අතරතුර පෙරහර නියමිත වේලාවට ආරම්භ වන විට ආරම්භ වෙඩිල්ල පත්තු කිරීම, පෙරහර නැරඹීමට පැමිණෙන ගරුතර ස්වාමීන් වහන්සේලාට ආසන පැනවීම හා උපස්ථාන කටයුතු සිදු කිරීම, පෙරහර මාර්ගයේ කහ දියර ඉසීම, පෙරහර ආරම්භ වීමට පෙර හා පසු මාළිගා පරිශ්‍රයේ හා පෙරහර මාර්ගයේ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීම, නර්තන කණ්ඩායම් සඳහා ආහාර ඛෙදා දීම, පෙරහර මග පුවරු සවි කිරීම, පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මාර්ග බාධක ඉවත් කිරීම ආදී කටයුතු රැසක් සංවිධානය කෙරේ. ශිල්පීන්ගේ ගෙවීම් කටයුතු ද පෙරහර මංගල්ලය අවසන් වූ පසු නිසියාකරව සිදු කරනු ලැබේ.

ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය කිරීමෙහිලා මේ සියලු කරුණු කාරණා සම්භාරය කොතෙක් සංකීර්ණ වුව ද මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි, ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිලමේතුමන්ගේ පූර්ණ අධීක‍ෂණය, මෙහෙය වීම හා ඍජු මැදිහත් වීමෙන්, පෙරහර මංගල්ලයේ සාම්ප්‍රදායිකත්වය හා ගුණාත්මග අගය ද රැකෙන අයුරින් වාර්ෂිකව අති සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබේ.


වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම

 1. ආරක්ෂක රථය- ඇසළ පෙරහර මංගල්ලයට මෑත ඉතිහාසයේදි එක්වු අංගයකි. පෙරහර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමගින් සිදුවේ.

2.  කස කරුවන්-         පෙරහරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවන් තම කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නුල් ගෙන වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7 ක් පමණ දිගට අග හීන් වනසේ අඹරා බැඳගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වනසේ ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැද ගැනිම සිරිතය.

පැරණියේදි රජදරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මග ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ලඟ ලඟ එන බව ඇඟවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජාමය මංගල්ලයන්හීදි පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහැර ලඟ එන බව සංනිවේදනය කිරීමටත් කස කරුවන් යොදා ගැනීම සිදුවේ. අතිතයේ  පෙරහැර පැවැත්වීමේ එක්  අරමුණක් වුයේ කලට වැසි ලබාගැනීමය. දළදා කරඩුව දොරට වැඩීමේදී වැස්ස ලැඛෙන බවට විශ්වාසයක් පවති. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඩ හා ස්වරුපය සංකේතවත් කෙරේ.

3.  ගිනිබෝල කරුවන්- පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකමත් කිරීමත් මග හෙලි පෙහෙලි කර දීමත් ලඟ ලඟ එන පෙරහැරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහැර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතිය දැනවීමත් මෙමගින් සිදුවේ.

4. බෞද්ධ කොඩි-       මේ ලඟ ලඟ ඉදිරියට ඇදෙන්නේ බෞද්ධ ආගමික පෙරහැරක් බව නිරූපණය කර දක්වයි.

මෙහිදී එක් ජාතික කොඩියක් ද රැගෙන යනු ලැබේ. එමගින් මෙම පෙරහැර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

5. දිසා කොඩිය (රෙදි)-         පළමුව හතරකෝරළේ -              ඉරහඳ මහ  කොඩිය

දෙවනුව හත් කෝරළේ               සිංහයා මහ කොඩිය

ඌවේ                                       හංසයා මහ කොඩිය

මාතලේ                           සුදු මහ කොඩිය

සබරගමුව                        කහපාට පටරෙදි මහ කොඩිය

තුන් කොරලේ කොඩිය     බේරුන්ඩ මහ කොඩිය (දෙහිස් උකුස්සා)

          වලපනේ                         මයුර මහ කොඩිය

          උඩපලාත                        නෙළුම් මහා කොඩිය

          නුවර කලාවිය                  ගජසිංහ මහ කොඩිය

          වෙල්ලස්සේ                     කොටියා මහ කොඩිය

          බිම්තැන්නේ                     ගිරවා මහ කොඩියා

          තමන්කඩුව                      වලහා මහ කොඩිය          

යන මෙම දිසාවන් 12 සංකේතවත් කෙරෙන දිසා කොඩි 12 ක් ද,

 1        උඩුනුවර                          6        හේවා හැට

2        යටිනුවර                          7        කොත්මලේ

3        තුම්පනේ                         8        උඩ බුලත්ගම

4        හාරිස්පත්තුව                    9        පාත බුලත්ගම

5        දුම්බර                                       යන නවයට වෙන්වු කොඩි නවය රටේ රාළ වරුන්ගේ යටතේ පැවති රට යන පාලන ඒකකය සංකේතවත් කිරීම සඳහා ද යොදා ගන්නා ලදී.

මෙම කොඩි තුළින් ඒ ඒ දිසාව හා රට නියෝජනය කරමින් දිසාවේ වරු හා රටේ රාළලා තම නිල පිරිස සමඟ තමන්ට නියමිත කොඩිය රැගෙන පෙරහැරට සහභාගි වීම සාම්ප්‍රදායික චාරිත්‍රයක් විය. අද එම නිලකරුවන් සම්බන්ධ නොවන නමුත් මෙම කොඩි රැගෙන යාම තුළින් සංකේතවත් කරනුයේ පැරණි මහනුවර රාජධානියට අයත් දිසා හා රට නිරූපනය කොට එම බලාධිකාරය සංකේතවත් කිරීමයි.

6.  පිත්තල දිසා කොඩි- ඉහත දැක්වූ දිසා 21 සංකේතවත් කරමින් මෙම කොඩි රැගෙන යයි.

7. කඩු ගෙනයන්නෝ- පෙරහරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකිය හමුදාවේ කඩු ගත් හමුදාව මෙයට සහභාගි වේග

8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ- මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියෙකු පිට නැගී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා, ශ්‍රී දළදා මාළිගාවේ දේපල පිළිබද වාර්තා හා පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය  සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැගෙන යාම සිදුකරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස් වැසුමකින් සැරසී සිටී.

9. හේවිසිකරුවෝ-      දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩයන් භාවිතා කෙරෙති. පුජා හා සංනිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහැරේ චමත්කාරය වර්ධනය කරති. එසේම මොවුහු පෙරහැරේ තේජසද ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුලත් වීම සුවිශේෂි ලක්ෂණයකි. දවුල් ගැසීමට පැරණියේදි සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුරවල් ඛෙහෙවින් දක්ෂ වූහ. එසේම මෙම පරම්පරා අතර මොළගොඩ, ඉහලවෙල, මාලගම්මන වැනි පරපුරවල් වර්තමානයේදී ද ප්‍රසිද්ධියට පත්වී ඇත.

10. ගජනායක නිලමේ- රජතමය අංකුසයක් අතින් ගෙන අලියෙකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිටම සංකේතවත් කෙරිණි. පුජාමය මංගල්ලයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරණි රජකාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්විම අලි ඇතුන්ගෙන් ඉටුවේ. අනුරපුර පොළොන්නරුව ආදී පැරණි යුගයන්හි අලි ඇතුන්ට අමතරව අසුන් ද පෙරහැරට සහාගි කරවා ගත් බව දක්නට ලැබේ.

11.  බුලත් පදය / කොතල පදය නර්තන කණ්ඩායම්-

12. පොල්මල් නර්තන කණ්ඩායම-

13. චාමර නර්තනය-  ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුඵ ප්‍රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත. මෙවලමක් අතැතිව නර්තනයේ යෙදෙන නිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳින්වීමට හැකිය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇති ගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳින්වීමට නොහැකිය. කෙසේ වුව ද හුදු විනෝදය සඳහා සරල ඛෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇති චාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.

14. ලී කෙලි කණ්ඩායම- ඉතා සරල වූ නැටුම් විශේෂයකි. ගෝති්‍රක නැටුම් වලින් ශේෂ වූ නර්තන අංගයකි. හුදු විනෝදය ප්‍රකාශ කිරීම සඳහා සරල ඛෙරපද සරල කවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූලව ලී එකිනෙක ගට්ටනය කරමින් නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්‍රදායානුකුලව සකසා ගෙන ඇති මෙම නර්තන කාර්යේදි පැරණියේදි සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, දූල්වල, පරපුරවල් ප්‍රධාන තැනක් ගනී.

15. නෛයියන්ඩි කණ්ඩායම-  හිසවෙස් ආභරණ රහිතව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුනු ප්‍රවීන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රදායික නැටුමකි. ගැටඛෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාලවූ කවි ගායනා යොදාගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේනික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑලි රංගනයට ද යොදා ගනි. අවුල් හැරය, බන්ඩි වළලූ, උරබාහුව, සිලම්බු, රැළි මන්තය, යට කලිසම, අටිරියක අදින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස් නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව ගල්දොල යන පරපුරවලය. උඩරට නර්තන සම්ප්‍රදායට අදාලව නර්තන අංගයකි.

16. පතුරු නැටුම් කණ්ඩායම- ලී පතුරක් අතැතිව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්‍රචලිත වූ පතුරු නැටුම විචිත්‍ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හා පාද සමග ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.

17. පන්තේරු කණ්ඩායම- උඩරට නර්තන සම්ප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතියල පන්සාලිස්වසල වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇතිබව ප්‍රකට මතයකි. ගැටඛෙරය හෙවත් උඩරට ඛෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී. උඩරට නර්තනයට අදාලව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂ ලක්ෂණයකි. හිස බදින රෙද්ද කරවට බදින සුරය, කඩුක්කන්තෝඩු, වළලූ, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකිය. අතීතයේදී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුරවල් නම් දැරූහ.

18. තාලම් කණ්ඩායම- ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්‍ය භාණ්ඩයක් වන තාලම්පට අත ඇතිව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැට ඛෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරළ නැටුම් අංගයකි.

19. අත් රබන්- ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන් අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. මෙහි අත්රබන් කොටසට අයත්ව අතින් වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂවූ ශිල්ප දක්වමින්, උඩ දැමීම දෑත් වටා කර කැපීම ආදි ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාල කවි ගායනා සහ ප්‍රශස්ථ ගායනා යොදා ගනී. යට කලිසම මදක් ඉහළින් අදි, දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇදුම් පැළදුම් වශයෙන් භාවිතා කෙරේ.

20. තම්මැට්ටම් වාදන කණ්ඩායම- පංච තූර්ය්‍ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2005 වසරේ සිට මෙම පෙරහරට අළුතින් එක්කළ ඉතා වැදගත් වූත් ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදන කණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුරවල් නම් දරා සිටියහ.

21. කඩු සරඹ- කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

22.  සවරම් නර්තනය- සාම්ප්‍රදායික ගැමි නර්තනයකි.

23.  පන්තේරු- ප්‍රවීණ හා නැගීඑන ශිල්පීන්ගෙන් සමන්විත පන්තේරු නර්තන කණ්ඩායම.

24.  මිශ්‍ර ගැමි නර්තනය- ලීකෙළි, තාලම්, චාමර හා රබන් නර්තනයන් එකතු කොට සෑදූ මෙම නර්තනාංගය 2012 වර්ෂයේ දී උඩරට ගැමි නර්තනාංගනයක් ලෙස ඇසළ පෙරහරට එක්වී ඇත.

25. උඩැක්කි නැටුම- ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයටම ආවේණික වූ රංග වස්ත්‍රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන් සැකසීමේදී විශේෂිත වූ රංග රටා යොදාගනිමින් අත් වාරු ආදිය ඇතිව වාදනයේ යෙදෙමින්  රංගනයේ යෙදේ.

26.  පන්තේරු නර්තනය-

27. නෛයියන්ඩි නර්තනය-

28. පන්තේරු නර්තනය-

29. වෙස් කණ්ඩායම- උඩරට නැටුමේ මුදුන් මල් කඩ වූ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි. ප්‍රවීන ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාල කවි ගායනා කරමින් ප්‍රවීන වාදන ශිල්පීන්ගේ ඛෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුම ශ්‍රී දළදා කර~ුව සහ ගරු දියවඩන නිළමේ තුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ වූ මෙන්ම ගෞරවාදරයට පාත්‍රවූ නර්තනය වන්නේද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයට එක්වී ඇත්තේ ක්‍රි.ව 1919 සිට බව කියවේ.

30. කාරිය කරවන කෝරාළ- ඔහුට අයත් කාර්යභාරයන් අතර වැඩමවන පෙරහර කරඩුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇදුමයි.

31. නාගසිංහම්- නානුමුර මංගල්ලය හා විශේෂ උත්සව මංගල්ලයන්හිදි ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන වාදනයන් අතර මෙය ද වැදගත් තැනක් ගනි. නාගසිංහම්, තබ්බෝරුව, ඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

32.     උඩු වියන් සහිත පාවඩ මතින් කරඩුව වඩමවන මංගල හස්ති රාජයා සමඟ දෑලේ ඇතුන් දෙදෙනා- පෙරහැර කරඩුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදි. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදාගෙන ඇත.

33. බෞද්ධ කොඩි 02 රැගෙන යාම

34. කවිකාර මඩුව- ශ්‍රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

35. මල් පහන් ගෙනයන්නෝ- මෙයද පැරණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේදි නැවත ඇති විය.

36. වෙස් නැටුම් කණ්ඩායම-

37. ගරු දියවඩන නිලමේතුමා- ක්‍රි. ව. 1814 සිට දියවඩන නිලමේවරු 19 දෙනෙකු නිල කාර්යයෙහියෙදි ඇති අතර 19 වන දියවඩන නිලමේවරයා වශයෙන් ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම පෙරහරට සහභාගි වේ.

38. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩය

39. බුරුම කොඩි 02 ක්

40. ගම් දහයේ විදානේවරු- අතීතයේදි විදානේවරු 09 දෙනෙකු සහභාගි වූ අතර වර්තමානයේදී 13 දෙනෙකු සහභාගි වෙති. මොවුහු නිල ඇදුමින් සැරසී දියවඩන නිලමේතුමාට පසු පසින් ගමන් කරති.

41. මෙතැන් සිට දළදා මාලිගාව පෙරහැරට පසු ශ්‍රී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහා දේවාලයන්හි පෙරහර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත.


සිවුමහා දේවාලයන්හි පෙරහර

නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිවුමහා දේවාලයන්ගෙන් නාථ විෂ්ණු පත්තිනි දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතර මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිඛෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ.

ශ්‍රී නාථ දේවාලය

ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැඟවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ.  බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ්‍රහක්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති. මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ.

මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස ඛෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ දල නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් දල හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ. මෙම දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවය.

විෂ්ණු දේවාලය

ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලු ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ.

කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිඛෙන අලුත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලුත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියැවේ. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප ඛෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.

කතරගම දේවාලය

14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි.

පත්තිනි දේවාලය

ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් දල තවත් වරෙක මලෙන් ද තවත් වරෙක නයි කදුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් ද තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසන අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ.

විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති. පත්තිනි දේවාලයේ  පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිඛෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.

ඇසළ පෙරහරේ මෙම පෙළගැස්ම තුළින් එදා රජදවස සිට පැවති සාමාජික හා රාජකාරී රටාව ද සමඟ බෞද්ධාගමික මෙන්ම රාජකීය උත්සවයන්හි පැවති සංස්කෘතිකාංග මැනවින් විදහා දක්වයි. අතීතයේ පටන් වර්තමානය දක්වා විදේශීය නරඹන්නන් මෙම පෙරහර මංගල්ලය නැරඹීමට පැමිණෙනුයේ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එන ලොව ඇති එකම ආගමික සංස්කෘතික මංගල්ලය මහනුවර ඇසළ පෙරහර මංගල්ලය වන නිසාය. එකී චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවිධි සුරක්ෂිත වන සේ ඇසළ පෙරහර සංස්කෘතිය නොකඩ කොට පවත්වාගෙන යෑම ජාතියේ මහත් අභිමානයට හේතුවනවා නොඅනුමානය.

 

- ජයම්පති වැද්දගල -

 ශ්‍රී දළදා මාළිගාවේ සංස්කෘතික නිලධාරී හා

දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ

සම්බන්ධීකරණ ලේකම්

 

 

ආශ්‍රිත ග්‍රන‍්ථ නාමාවලිය

1. පූජාවලිය, ඛෙන්තර සද්ධාතිස්ස හිමි (සංස්), පී.ෙජ්. කරුණාධාර, පානදුරා මුද්‍රණාලය, 1930  728 පි.

2. ශ්‍රී දළදා මාළිගාව සහ උභය මහා විහාර චාරිත්‍ර විධි, කේ. මීගහකුඹුර, ශ්‍රී දළදා මාළිගාව, මහනුවර, 2016, 142 පි.

3. ශ්‍රී.ද.මා. සහ උ.ම.වි.චා. 148 පි.

4. එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න (පරි), ගුණසේන, කොළඹ, 2014, 242 පි.

5. සි.බෝ.ව. 98 පි.

6. ථූප වංශය, ඩී.ජේ.බී. විජයසේකර, යූ.ඩී. කොර්නේලිස්, ලංකාසිනව විශ්‍රැත යන්ත්‍රාලය, 1929, 133 පි.

7. රාජාවලිය, ඒ.වී. සුරවීර (සංස්), අධ්‍යාපන ප්‍රකාශන, කොළඹ, 1997, 52 පි.

8. දළදා සිරිත, වී.ඩී.එස්. ගුණවර්ධන (සංස්), සමයවර්ධන, කොළඹ, 2014, 34 පි.

9. සිංහල මහා වංශය, ඩී.එච්.එස්. අබේරත්න (සංස්), ෙජ්.ඩී. ප්‍රනාන්දු, කොළඹ ග්‍රන‍ථ ප්‍රකාශක යන්ත්‍රාලය, 1922, 238 පි.

10. සිං.ම.ව. 326 පි.

11. දඹදෙණි අස්න, ඩී.ඩී. රණසිංහ (සංස්), ඩී.ඒ. අමරසිංහ සිරිවර්ධන අප්පුහාමි, 1917, 7 පි.

12. දළදා සිරිත, පී.ඩී.එස්. ගුණවර්ධන (සංස්), සමයවර්ධන, කොළඹ, 74-75 පිටු

13. ඩේවි දුටු ලංකාව, ඇම්.ඇම්. සෝමරත්න ඇල්ලේපොළ (පරි), විසිදුනු, බොරලැස්ගමුව, 2013, 187 පි.

14. සිං.ම.ව. 327 පි.

15. සිරි දළදා වරුණ, අනුරාධ සෙනෙවිරත්න, ගොඩගේ, කොළඹ, 1994, 137 පි.

 

 

No comments:

Post a Comment