බුදු දහමින් හෙළිවන නව චින්තනය

9:48 PM

ශත වර්ෂ ගණනාවක් මුළු‍ල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ, ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. ‍එම අවශ්‍යතාවයන්ගෙන් තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට හේතු නොවේ. එනම් ඒ සමාජය පිළිගැනීමට පාත්‍ර‍ ‍නොවේ. ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුන් වහන්සේ දඹදිව පහළවූයේ  කාලයක් මුළුල්ලේ විකාශනයට පත්වෙමින් පැවති ආගමික මතවාද රැසක් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියෙකයි. ඒ නිසා බුදු දහමේ ප්‍රභවය යුග කාරක සිද්ධියක් හෙවත් අභිනව යුගයෙක උදාවක් වශයෙන් හඳුන්වා දිය හැකිය. සුළු කාලයක් තුළ සෙසු ආගම් මැඩගෙන බුදු දහම භාරතීයන් අතර ව්‍යාප්ත වී ගියේ එහි පැවති නව චින්තනය නිසා බව කිව හැක. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකයින් ඉදිරිපත් කර තිබූ ඇතැම් ආගමික ඉගැන්වීම් කෙලින්ම ප්‍රතික්ෂේප නො කොට බෞද්ධ ආකල්ප ගන්වා ඉදිරිපත් කිරීම නිසා ක්‍රමයෙන් එම ඉගැන්වීම් ජනතාව අතර පැතිර වීමට හැකි විය. මේ අනුව නිදසුනක් වශයෙන් මෙකල පැවති බහුදේව වාදී සංකල්පය දැක්විය හැකිය. පැරණි මතවාද නව ආකල්පයක් ගන්වා ඉදිරිපත් කිරීම බෞද්ධ චින්තනයේ විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.


බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝක නැති බව කොතනක හෝ සඳහන් කර නැත. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට අනුව දිව්‍ය ලෝක මෙන්ම දෙවිවරුන් ද සිටින බව බුදුරජාණන් වහන්සේ පිළිගෙන ඇත. නමුත් එම දෙවියන් වනාහි බුදුවරු, රහතුන්ට පමණක් නොව උතුම් මිනිසුන්ටත් වඩා පහත් පෙළේ පිරිසක් බව පෙන්වා දෙයි. බෞද්ධ දේව සංකල්පය විස්තර වන මූලාශ්‍ර අතර ධජග්ග සූත්‍රය, මහා සමය සූත්‍රය සහ ආටානාටිය සූත්‍රය ප්‍රධාන වෙයි. මේ සෑම තැනකම සඳහන් වන ‍දෙවිවරුන්ගෙන් විමුක්තියක් ලබාගත නො හැකි බව බෞද්ධ ඉගැන්වීමයි. ධජග්ග සූත්‍රයට අනුව වරුණ, ඊසාන යන දෙවිවරුන්ගෙන් පමණක් නොව දෙවිවරුන්ගේ ප්‍රධානියා වශයෙන් සැලකෙන ශක්‍රයාගෙන් වත් මිනිසුන්ට ආරක්ෂාවක් සලසා ගත නො හැකි බව පෙන්වා දෙයි. “සකෙකා භික්ඛවේ අවීතරාගො, අවීතදොසො, අවීතමොහො” ආදී වශයෙන් රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් ප්‍රහීන නො කළ ශක්‍රයා පවා බිය වන, තැති ගන්නා සුළු පුද්ගලයකු වෙත් නම්, කෙසේ ආරක්ෂාවක් සළසා දිය හැකි දැයි පෙන්වා දෙයි. නමුත් බුදුන් වහන්සේ වෛදික දේව සංකල්පය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නො කොට, එය වෙනත් ආකාරයකින් සමාජයේ සදාචාරාත්මක වර්ධනය මෙන්ම සදාචාර ධර්ම පෝෂණය කිරීමට ඉවහල් කරගෙන ඇති ආකාරය ශක්‍රයා සහ මාතලී දිව්‍ය පුත්‍රයා අතර ඇති වූ සංවාදයෙන් පෙන්වා දී ඇත. මෙහි දැක්වෙන පරිදි ශක්‍රයා ගුණධර්ම ගරුක මිනිසුන්ට නමස්කාර කරයි. මේ සිද්ධිය මිනිසුන් සදාචාර මාර්ගයට අවතීර්ණ වීමට හේතු වේ. මග මානවක ජාතකයේ සඳහන් වන පරිදි ශක්‍රයා ශක්‍ර ආත්ම භාවය ලබා ගන්නේ මිනිසකු වශයෙන් මිනිස් ලොව ජීවත් වූ අවධියේ දී දන් දීම, සිල් රැකීම, බවුන් වැඩීම, මවුපියන්ට හා වැඩිහිටියන්ට ගරුකිරීම, මං මාවත්, ලිං, පොකුණු තැනවීම වැනි පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමෙනි. ධම්ම පදයේ සඳහන් වන “සච්චං භනෙ න කුජ්ජෙය්‍ය...” යන ගාථාවෙන් සඳහන් වන්නේ සත්‍ය වචන කථා කිරීම, නො කිපීම සහ පරිත්‍යාගශීලීත්වය යන ගුණ ධර්ම වැඩීමෙන් කෙනෙකුට දෙව්ලොව ඉපදිය හැකි බවයි. මෙසේ දේවත්වය ලබා ගැනී‍මේ අපේක්ෂාවෙන් නිරායාසයෙන්ම මිනිසුන් පාපයෙන් වැලකී පින් කිරීමට යොමු වේ. එමනිසා පැවති ආගමික සංකල්පයන් බැහැර නො කොට එය මිනිස් සමාජයේ ගුණධර්ම‍ පෝෂණය සඳහා යොදාගැනීම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නව ආගමික චින්තනය වශයෙන් පෙන්වා දිය හැකිය.

මේ අනුව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්වා දී වදාළේ ලෝකය හෝ සත්ත්වයා සර්ව බලධාරී දෙවියකුගේ නිර්මාණයක් නො වන බවයි. ඒ අනුව හේතුඵල වාදය මුල්කර ගෙන ලෝකයත් සත්ත්වයින්ගේ ප්‍රභේදයත් ඇති වූ ආකාරය පෙන්වා දී ඇත. මජ්ඣිම නිකායේ අස්සලායන සූත්‍රය අනුව මිනිසා මවන ලද්දේ දෙවියන් විසින් නොවේ. ඒ අනුව සත්ත්වයාගේ ප්‍රභවයට හේතු වී ඇ‍ත්තේ මව සෘතු ගැනීම, මව්පිය දෙපළගේ එකතුව සහ ගන්ධබ්බ නමින් හැඳින්වෙන උත්පත්තිය අපේක්ෂිත පුද්ගලයාගේ පැමිණීම යන කරුණු තුන සම්පූර්ණ වීමෙන් හැර දෙවියෙකු විසින් මවන ලද බවක් ගැන සඳහන් නොවේ. “අත්තානො ලොකො අනභිස්ස‍රො” යන්නෙන් පෙන්වා දෙන පරිදි ලෝකය දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දක් නො වන බව පෙන්වා දෙයි. අංගුත්තර නිකායේ තිත්ථායතන සූත්‍රයේ දී මෙය ඊශ්වර නිර්මාණවාදී මිත්‍යා දෘෂ්ටියක් ලෙස හඳුන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ ඊශ්වර නිර්මාණවාදය මිත්‍යාදෘෂ්ටියක් වශයෙන් බැහැර කළේ එය පුද්ගලයාගේ සහ සමාජයේ පරිහානියට හේතු වන බැවිනි. දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදුවෙතැයි විශ්වාස කරන පුද්ගලයා නිෂ්ක්‍රීය රූකඩයක තත්ත්වයට පත් වේ. එමඟින් ඔහු තුළ ඇතිවන එම අනුත්සුක භාවයෙන්, ඔහුගේ ලෞකික සහ පාරලෞකික ජීවිතයේ පරිහානිය සිදු වේ. අනෙක් අතින් එය සාමූහික වශයෙන් සමාජ සදාචාරයට බාධාවක් වේ. ඊශ්වර නිර්මාණවාදී සංකල්පය පිළිගන්නා තැනැත්තේ, තමන් අතින් සිදුවන සෑම වැරදි ක්‍රියාවක්ම ස්වේච්ඡාව නිසා නොව ඊශ්වර ඉච්ඡාව අනුව සිදුවන බව සලකයි. එනිසා ඔහු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර සහ මුසාවාද ආදී පස්කම් සහ දස අකුසල් වැළකීමට උත්සාහ නො ගනියි. එහි ප්‍රතිඵලය වන්නේ සමාජයේ මිනී මැරීම්, සොරකම් කිරීම්, සාවද්‍ය ලිංගික සමාචාරය, බොරුව, වංචාව ආදී දුරාචාර ධර්ම පැතිරයාම යි. මේ ඉගැන්වීම පුද්ගල ගත පරිහානිය මෙන්ම, සමාජ ගත පරිහානියට ද හේතුවෙතැයි පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, පුද්ගල ස්වාධීනත්වය හෙවත් මිනිසාගේ ස්වාධීනතාවය අවධාරණය කර ඇත.

බුදු දහම කුසලා කුසල කර්ම පිළිබඳ නිදහස සහ වගකීම අවධාරණය කරයි. මූලික බුද්ධ දේශනාව අනුව සෑම පුද්ගලයකුටම කිසියම් ක්‍රියාවක් කිරීමට හෝ නො කිරීමට නිදහසක් ඇත. අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ කුසල්, මේ අකුසල්ය. මේ නිරවද්‍යය, මේ සාවද්‍යය යන්න තම සිතින්ම තීරණය කළ යුතු බවයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී න්‍යාය ඉවහල් කර ගන්නේ සත්ත්ව, පුද්ගල ආත්ම සංකල්පය ඛණ්ඩනය කිරීම සඳහාය. සංයුක්ත නිකායේ ඛන්ධ සංයුත්තයට අනුව සත්ත්වයා යනු ස්කන්ධ පංචකයේ එකතුවයි. බුද්ධ දේශනාව අනුව ලෝකයේ මූලික පදාර්ථ හතරක් ඇත. එනම් පඨවි, ආපො,‍ තෙජො, වායො යනුවෙනි. මේ චතුර් භෞතික පදාර්ථ පදනම් කරගෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාන යන ස්කන්ධ පංචකය ගොඩ නැඟී ඇත. මේ එක් එක් ස්කන්ධයක ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණ සිද්ධාන්තයට ගොදුරුවීමයි. එනිසා රූපාදී ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණයට ගොදුරු වේ නම් එබඳු ශරීරයක් තුළ සදාකාලිකව ආත්මයක් නො තිබිය හැක. සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තයේ සඳහන් වන “සතෙතා සතෙතාති පච්චෙසි...” යන දේශනාවෙන් පෙන්වා දී ඇත්තේ සත්ත්ව නාමයෙන් ගැනෙන පුද්ගලයකු ඇතැයි විශ්වාස කිරීම තනිකර මිත්‍යා දෘෂ්ටියකි. සත්ත්වයා යනු ‘සංස්කාර පිඩක්’ පමණි. නාගසේන හිමියන් විසින් මිලින්ද ප්‍රශ්ණයේ දී මිලිදු රජුට දේශනා කළ “යථාහි අංග සම්භාරා, හොති, සද්දො රථො ඉති...” යන්නෙන් පෙන්වා දී ඇත්තේ ද ඒ ඒ අංගෝපාංග එක් වීමෙන් ‘රථ’ යන ප්‍රඤ්ඤප්තිය ඇතිවන්නාක් මෙන් රූපා දී ස්කන්ධ පංචකයේ එකතුව ඇති කල්හි පමණක් සත්ත්වයා, පුද්ගලයා යන්න ඇති වන බවයි. මේ අයුරින් ත්‍රි ලක්ෂණ සිද්ධාන්තයේ අනුව ස්කන්ධ පංචකය විශ්ලේෂණය කර බලන කල්හි සදාකාලික ආත්මයක් නැති බව පෙන්වා දී ඇත. මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ ද මෙම විභජ්ජවාදී න්‍යාය ඇසුරු කොට සත්ත්වයා තුළ සදාකාලික ආත්මයක් නැති බව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

මේ අනුව බුදුරජාණන් වහන්සේ ඉවහල් කර ගත් දෙවන තර්කය වන්නේ පටිච්ඡ සමුත්පන්න න්‍යයයි. මේ අනුව ආධ්‍යාත්මික හා භෞතික ‍ලෝකය හා සම්බන්ධ‍ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යය දෙකෙහි සංකලනයෙන් හටගත් ඵලයේ පැවැත්ම ඇතිවන්නේ හේතුව සහ ඵලය අතර සාපේක්ෂතා සම්බන්ධතාවය පවත්නා හා තක්කල් පමණි. මේ හේතුව සහ ඵලය අන්‍යෝන්‍ය  වශයෙන් වෙනස් වූ කල පවත්නා කිසිවක් නැත. ඒ අනුව අවිද්‍යා, සංස්කාර, විඤ්ඤාන, නාම, රූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ යන අංග දොළොස හේතු ඵල වශයෙන් සම්බන්ධ වීම නිසා සත්ත්වයාගේ හටගැන්ම සිදුවෙන අතර එකිනෙක නැති විමෙන් නැවැත්ම සිදුවේ. මේ අනුව කිසියම් දෙයක අස්තිත්වය හෝ නාස්තිත්වය ඇති වන්නේ හේතු ඵල දෙකේ සම්බන්ධතාවය අනුව නම් සත්ත්වය ශරීරය තුල සදාකාලිකව පවතින ආත්මයක් නො තිබිය හැකිබව මේ පට්චිඡ සමුප්පන්න න්‍යායෙන් පෙන්වා දී ඇත. මේ අනුව යථෝක්ත න්‍යාය සිද්ධාන්ත දෙක මඟින් ආත්මවාදය ඛණ්ඩනය කොට, අනාත්මවාදී සංකල්පය ඉදිරිපත් කිරීමෙන් බුදු දහමේ දක්නට ලැබීම නව චින්තනයක් වශයෙන් පෙන්වා දියහැක. ‍එසේම බුදුරජාණන් වහන්සේ පටිච්ඡ සමුත්පන්න ධර්මතාවය සත්ත්වයාගේ සන්තාන ගත දුක විග්‍රහ කිරීමට ඉවහල් කරගත් ආකාරය චක්කවත්ති සීහනාද සූත්‍රය හා අග්ගඤ්ඤ සූත්‍රය වැනි දේශනාවන්ගෙන් පැහැදිළි වේ. මීට පෙර කිසිම දාර්ශණිකයෙකු මෙවැනි හේතුඵලවාදී දර්ශනයක් ඉදිරිපත් කර නැත. එනිසා සාපේක්ෂතා සිද්ධාන්තය පදනම් කර ගත් පටිච්ඡ සමුප්පාදය ද බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කළ නව ආගමික චින්තන දර්ශනයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

තෙරුවන් සරණයි !

You Might Also Like

0 comments

"යමෙක් ධර්මය දකී ද හේ මා දකී"
~බුදුරජාණන් වහන්සේ~