කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් 'වස් කාලය'

10:04 PM



පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී.

චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකමපාය, අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එකෙන දෙව ආගමිත්‍ථ දෙසෙථ භික්ඛවෙ ධමමං ආදී කල්‍යාණං, මජොඩ කල්‍යාණං, පරියොසානං කල්‍යාණං, සාත්‍ථං, ව්‍යඤජනං තෙවල පරිපුනනං පරිසුදධං බ‍්‍රහමචරියං පතාසෙථයන බුද්ධ දේශනාවට අනුව එවකට භික්ෂූන් වහන්සේ වැසි සමයෙහි තෙමි තෙමී වුව ද, ධර්ම ජනයාගේ හිතසුව පිණිස චාරිකාවෙහි යෙදුනාහ.  එක්තැන්ව වාසය කිරීමක් සිදුවූයේ නැත.

එසේ වුව ද ඇසළ මාසයෙන් ආරම්භ වන්නාවූ අධික වර්ෂාපතනය සමයෙහි ඉන්දියාවේ සිටි සෙසු ආගමික ශ‍්‍රමන පිරිස් එක් ස්ථානයකට වී වාසය කළහ. මොවුන් අතර සිටි ජෛන ශ‍්‍රාවකයෝ චාරිකාවෙහි නොයෙදුනේ කුඩා පැලෑටි හා ප‍්‍රාණින්ට සිදුවියහැකි හානියෙන් අත්මිදී සිටීමටයි. ඒ ඔවුහු පරම අවිහිංසාවාදී වූ බැවිනි. මෙම ශ‍්‍රමන පිරිස් චාරිකාවෙහි යෙදුනාවූ භික්ෂූන් කෙරෙහි දැක්වූයේ ද දැඩි පිළිකුලකි. එහෙයින් ඔවුහු උද්ඝෝෂණය කළහ.


මේ පිළිබද අවධානය යොමු කළ බුදුන්වහන්සේ සමාජ විරෝධයට පිළිතුරක් වශයෙන් ද භික්ෂූන් වහන්සේලාගේ පහසුව තකා ද වර්ෂාකාලයේදී එක් ස්ථානයකදී ගත කිරීමද නියම කළහ. “අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං”, “සියලූම භික්‍ෂූහු වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කළ යුතු යැයි අනුදනිමි“නෙ භික්ඛවෙ වස්සං උපගන්තුබ්බං යෙන උපගචෙජය්‍ය ආ පතති දුක්ඛටසස්ස”, ”යම් භික්ෂුවක් වස් සමයෙහි වස් සමාදන් නොවුවහොත් ඔහු හට දුකුලා ඇවැත් සිදුවේ.

මුළු වැසි සමය විහාරාරාමයෙහිම වැඩ වාසය කරමින්, ගිහි භවතුන් ධර්ම මාර්ගයට යොමු කිරීම පිණිස, ධර්මයෙහි හැසිරවීම පිණිස, කාලය ගත කිරීමට භික්ෂූන් වහන්සේට අවකාශය සැලසෙන අතර දන් සිල් භාවනාදියෙහි නියුක්තව කුසල් දහම් රැුස්කර ගැනීමට ගිහියනට ද අවස්ථාව සැලසේ. පැවිදි පක්ෂයට පමණක් නොව ගිහි අයට ද, වස් කාලය තුළ මේ අයුරින් ආමිෂ පූජාවන්හි හා ධර්මානුධර්ම ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට එකසේ අවස්ථාව සැලසෙන බව පෙනේ. එබැවින් වස් කාලය වනාහි කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතා වැදගත් වන කාලපරිච්ඡේදයකි.

උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් කාලය තුළ තැනින් තැනට චාරිකාවෙහි යෙදෙන්නේ  නැත. යම්කිසි හේතුවක් නිසා බැහැරට යා යුතුම අවස්ථාවල දී, සත්තාකරණයෙන් (සති කරණයෙන් - සිහිය පිහිටුවා) වස් විසූ ස්ථානයෙන් බැහැරට ගොස් හත්වන දිනය ගෙවෙන්නට පෙරාතුව වස් විසූ ස්ථානයට වැඩම කළ යුතුමය. මෙසේ බැහැරට වැඩම කළ හැක්කේ භික්ෂු (සාමණේර) මවුපියන්, උපාසක උපාසිකාවන් ආරාධනා කළ විට හා පණිවිඩයක් එවූවිට පමණි. මේ යටතේ සතියක් ඉක්මවීමට පෙර නැවත ආරාමයට පැමිණෙන්නෙමියි අධිෂ්ඨාන කොට බැහැරව යාමට වස් විසූ භික්ෂූන්ට අවසර ලැබුණි.

මෙසේ වස් සමාදන් වූ භික්ෂුව ආරාමයෙන් බැහැරව යා යුත්තේ සිහි කිරීමෙන් අනතුරුවය. එහෙත් සිහි නොකොට යා හැකි අවස්ථාද ඇත. එනම් යක්‍ෂ, පේ‍්‍රත, භූත, පිසාචා, අග්නි, ජල, චොර උපද්‍රව ඇති විටකදී සිහි නොකොට බැහැරව යා හැකිය.

වස් සමාදන් වූ ස්ථානයෙන් සම්පූර්ණයෙන් බැහැරවී යාමටද භික්ෂූන්ට ඉඩකඩ ඇත. එහෙත් ඊට විශේෂිත වූ කාරණා පැවතිය යුතුය. ආහාර ප‍්‍රමාණවත් ලෙස නොලැබීම, බෙහෙත් නොමැතිවීම, ස්ත‍්‍රීන් වෙතින් අයුතු යෝජනා ඉදිරිපත්වීම, සංඝ භේදයට හේතුවීම ආදී කරුණු මෙහිලා හේතුවිය යුතුය. එබන්දක් නොමැත්තේ නම් කිසිවිටකත් වස් විසූ තැන හැරදමා නොයා යුතුය.

වස් විසීම සඳහා තෝරාගත යුත්තේ ද පන්සලක් හෝ ආරාමයක් වැනි පහසුකම් ඇති තැනෙකි. එසේම ගොපල්ලන් හා ගැල් පදවන්නන් වසන තැනෙක ද, නැවක ද වස් විසීමට හැකිය. ගස් බෙනයෙක හෝ එළිමහනෙක හෝ වහලක් නැති තැනෙක හෝ මිනී කාමරයෙක හෝ විශාල කුඩයෙක හෝ වස් සමාදන් විය නො හැකිය. චුල්ලවග්ග පාලියේ ඒ බව සඳහන් වේ.

අප මහා බුදුරජාණන් වහන්සේගේ පළමු වස් සමාදානය සිදු වූයේ, බරණැස ඉසිපතනයේ දී ය. අන්තිම වස් සමාදානය, කුසිනාරාවේ බේලූව ගමෙහි සිදු විය. වැඩිපුරම වස් කාලය ගත කළේ, සැවැත්නුවරයි. රජගහනුවර වේළුවනාරාමය ආදියෙහි විසි වසරක වස් කාලයක් ගත කළ සේක.

භික්ෂූන් වහන්සේලා හට වස් සමාදන් වියහැකි ආකාර දෙකක් ඇත. එනම්,

  1.  පෙරවස් සමාදන්වීම.
  2.  පසුවස් සමාදන්වීම.

මෙහිදී පෙර වස්සමාදනය සෑම උපසපන් භික්ෂුවක් හටම අනිවාර්ය වූවකි. යම් සාධාරණ වූ හේතුවක් මත එසේ නොහැකි වුවහොත් පසුවස් සමාදන් විය යුතුය. උපසපන් භික්ෂුවක් හට වස් සමාදන් නොවී සිටීමට කෙසේවත් ඉඩක් නොමැත. උපස්ථායකයෙකු ඇති ද නැති ද අනිවාර්යයෙන්ම වස් විසිය යුතුමය. ගිම්හාන සෘතුවේ අටවැනි පෙහොය වූ ඇසළ මස පුර පසළොස්වක පොහොය දින සීමාවකට රැස්වී පොහොය විනය කර්මය කළ යුතුය. අව පෑලවිය දිනයේදී වස් විසීම කළ යුතුය. එසේ බැරි වුවහොත් පමණක් නිකිණි අව පෑලවිය දින පසුවස් විසිය යුතුය. වස් එළඹීමෙන් තුන්මසක් ඇවෑමෙන් එළඹෙන පොහොය දිනයේදී වස් ශීලය ආරක්ෂා කරගත් භික්ෂූන් වහන්සේලා පොහොය සීමාවකට රැස්ව වස් පවාරණය සිදු කරයි.

මේ අනුව භික්ෂුවක් ලෙස සංඝ සමාජයේ විද්‍යාමාන වන්නේනම් අනිවාර්යයෙන්ම වස් විසීම කළ යුතු බව පෙනී යයි. වස් විසීම තුළින් උභය පක්ෂයටම තම ජීවිතයන්හි යහපත වෙනුවෙන් කුසල් දහම් කරගැනීමට ද හැකියාවක් ඇති බව සිතා ගත හැකිය.

- සංඛ ඉන්ද්‍රනාත්

You Might Also Like

0 comments

ShareThis