ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Nov 3, 2017

ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය

ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය වීම යන සුවිශේෂි ශාසනික සිද්ධියෙන් මුල්කොට ඉල්මස පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයෝ ඉතා වැදගත් කොට සලකති.

ඉසිපතන මිගදායේ ධම්මචක්ක පවත්වන සූත‍්‍ර දේශනාවට අනතුරුව පළමුව කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ”එහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව” ලැබූ අතර දෙවනුව වප්ප, භද්දිය දෙදෙනා ද, අවසානයේ මහානාම, අස්සජි දෙදෙනා ද යන පස්වග තවුසෝ සෝවාන්ව මහණ උපසම්පදාව ලැබූහ. ”අනන්ත ලක්ඛණ සූත‍්‍ර” දේශනාවෙන් පසුව පස්වග මහණුන් සියලූ දෙනා රහත් බවට ද පත් වූහ.

එකල්හි යසකුල පුතු නාටක ස්ත‍්‍රීන්ගේ විප‍්‍රකාර දැක ගිහිගෙයි කලකිරී නිවසින් පිටව ඉසිපතනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදිව සෝවාන් වූයේය. මේ බව දත් ඔහුගේ මිතුරෝ සිව්පනස් දෙනෙක් ද බුදුන් වෙත පැමිණ බණ අසා රහත් වූහ. මෙසේ රහත් වූ පස්වග මහණුන් ඇතුළු සැටනම අමතා ”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය” යනාදී වශයෙන් ”බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, ධර්ම චාරිකාවේ යෙදෙන ලෙසත්, එක් මෙ`ගකින් දෙදෙනක් නොගොස් මුල, මැද, අවසන කළණ වූ පිරිසිදු ධර්මය දේශනා කරන ලෙසත්, ලාභාපේක්ෂාවෙන් තොරව ලෝකානුකම්පාව උදෙසා දෙව් මිනිසුන් සහිත සියලූ ලෝසතුන්ගේ හිතසුව පිණිස ධර්මප‍්‍රචාරය ආරම්භ කරන ලෙසත් අනුදැන වදාළ සේක. මෙසේ පළමු රහත් සැට නම ධර්ම චාරිකාවේ යෙදුනේ උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.

කොසොල් රජුගේ රජ කුමරුන් තිස් දෙනෙක් ක‍්‍රීඩා පිණිස කප්පායික වනයට ගියහ. ඉන් එක් කුමරෙක් තමන් කැඳවාගෙන ගිය වෙස`ගනක් ඔවුන් සතු ආභරණත් රැුගෙන පළා ගිය බව දැන ඇය සොයා යන්නෝ අතරම`ගදී බුදුන් දැක ඇය ගැන විමසූහ. එම අවස්ථාවෙහි අනුන් සෙවීමට වඩා තමන් සෙවීම වඩා උතුම් බව දක්වා වදාළ බණ අසා ඒ හැම දෙනා රහත් වූහ.

මේ වනවිට රහත් බව ලැබූ පස්වග මහණුන් හා යසකුල පුත‍්‍රයා ඇතුළු යහළුවන් පනස්පස් දෙනා සමග ඉහත තිස් නම එක්ව රහතන් වහන්සේ එක් අනූවක් වූ පසු බුදුරජාණන් වහන්සේ උරුවෙල නම් ජනපදයට වැඩම කළ සේක. එහි නිල්දරා නම් ගංතෙර උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් තුන් බෑ ජටිලයෝ තමන් රහතුන් බව පවසමින් මිථ්‍යා දෘෂ්ටිකව සිටියහ. මොවුන්ට අතවැසියන් ද දහසක් පමණ සිටියහ. මිසදිටු බවින් අපාගත වීමට සිටි මොවුන් කෙරේ මහාකරුණාවෙන් පිරුණු බුදුරජාණන් වහන්සේ චරිතානුකූලව ධර්මදේශනා කොට ඒ ජටිලයන් දමනය කළේ ද ඉල්මස පුර පසළොස්වක පොහෝ දිනයකය.

බුදුරජාණන් වහන්සේ බේළුව නම් ගමෙහි වස් වසා වැඩ සිටි කල්හි මාරාන්තික රෝගාබාධයක් ඇතිවී එය සමාධි බලයෙන් මැඩගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පළමුව අග‍්‍රශ‍්‍රාවක දෙනම අපවත්වීම සිරිතය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාරායේ වැඩසිටිනා කල්හි අභිධර්මයට සමත් දකුණත් සව් සැරියුත් තෙරුන් වහන්සේට නාලක නම් තම උපන් ගමෙහි උපන් නිවසේදී පිරිනිවන් පෑමට අවසර දුන් සේක. එසේ අපවත්වූ සැරියුත් තෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ගෙනා ධාතු බුදුන් වහන්සේගේ ශී‍්‍ර හස්තයෙන් ගෙන ගාථා පන්සියයකින් ගුණ ගායනා කොට ජේතවනාරාමයේ චෛත්‍යක් කරවන ලදී. මෙසේ සැරියුත් මහතෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පෝ දිනයකදීය.

සංකස්ස පුරයේදී සැරියුත් තෙරුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විසඳා ඥානවන්තයන් අතර අගතැන් කොට වදාළ දවසේම මෙත් බෝසතුන් වහන්සේ මෙම මහා භද්‍රකල්පයේදී මෛත‍්‍රිය නමින් කේතුමතී නම් නුවර පහළ වන බවට අනාගත වංශ දේශනාව සිදු කොට විවරණ ශී‍්‍ර දෙවා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පෝය දිනයකදීය.

ඇසළ මස පෙරවස් සමාදන්වීමට නොහැකි වූ උපසපන් භික්ෂූන් වහන්සේට පසුවස් විසීමට නියමිත නිකිණි මාසයේදී පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ පසු වස් පවාරණය කරනුයේ ද ඉල් මස පුර පසළොස්වක දිනදීය. එසේම කඨින චීවර පූජාව කළ හැකි අන්තිම දිනය ද ඉල් පුර පසළොස්වක දිනට යෙදේ. මෙනයින් සලකන විට පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව කළ යුතු අවසන් දිනය යෙදෙන දිනය ලෙස ද ඉල්පුර පසළොස්වක පෝය දිනය වැදගත් වේ.

මෙකී ශාසනික කරුණු වල ඇති වැදගත්කම හා උදාරත්වය සමරා ඉල්මස පුර පසළොස්වක පෝය දිනයෙහි බොහෝ සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකාවෝ අට සිල් හෝ දස සිල් සමාදන්ව ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්හි නිරතව පින් රැුස් කරගනිති.





No comments:

Post a Comment