උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Dec 3, 2017

උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනය

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, චතුරාර්ය සත්‍යයාවබෝධය ලබා සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළේ දඹදිව බුද්ධගයාවේ ඇසතු (අස්වත්ථ) බෝරුක් මූලයේදීය. එසේ සම්බෝධියට පැමිණ පළමුවන දෙවන දෙසතිය අනිමිෂලෝචන පූජාවෙන්, කෘතගුණවේදිත්වය දැක්වීමේ අගය ලොවට විදහා දක්වා වදාළේත්, ජයසිරි මහා බෝමැඩ සෙවණේ සිටය. 

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට බුදු දහම වැඩමවීමෙන් අනතුරුව අනුලා දේවී පන්සියයක් කන්‍යාවන් හා අන්තඃපුරවාසී වූ ස්ත‍්‍රීන් පන්සියයක් ද, සමග දසසිල් සමාදන්ව කසාවත් ඇඳ පිරිසිදුව පැවිදි බව පැතුවාය. එකල්හි දේවානම්පියතිස්ස රජතෙමේ මිහිඳු මාහිමියන්ගෙන් කරුණු විචාරා, ලත් උපදෙස් අනුව බෑණනු අරිට්ඨ ඇමතියා කැඳවා ”දරුව, ධර්මාශෝක මහ රජාණන් කරා ගොස් මහ බෝධිය ද, සංඝමිත‍්‍රා නම් තෙරණිය ද, මෙහි වැඩමවාගෙන එනු හැකිදැයි” විමසූ විට තමන්ට ද පැවිදි වීමට අවසර දෙන්නේ නම් හැකි බව දන්වා සිටියේය. ඉක්බිති ඒ කුමරු රජුගේ සංදේශයක් ද, සමග වප් මස ශුක්ල පක්ෂයෙහි දෙවෙනි දිනයෙහි පැලලූප් නුවරට පැමුණුනේය.

අරිට්ඨ කුමරුන් විසින් ගෙනගිය සංදේශය ලත් ධර්මාශෝක මහ රජතුමා මහසඟුන්ගෙන් හා සිය දියණිය සංඝමිත‍්‍රා තෙරණියගෙන් විමසා තමන් පණ මෙන් රැකි, මුළු රාජ්‍යයයෙන් තෙවරක්ම පුදනු ලැබූ, බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් වූ, ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව හා මහබෝ රක්නා පිණිස අටලොස් කුලයක දෙවියන් ද, අටලොස් කුලයක ඇමැතියන් ද, අට කුලයක බමුණන් ද, අට කුලයක කෙළඹියන් ද, ගොපළු කුලයන් හා තරස් කුලයන් ද, කුඹල් කුලයන් ද, සියළු සේනා සම්බන්ධ කුලයන් ද, නාග යක්ෂ සම්බන්ධ කුලයන් ද, එකළොස් නමක් මෙහෙණින්නන් ද, සහිත වූ සංඝමිත‍්‍රා නම් තෙරණියන් ද, එසේම අරිට්ඨ කුමරුන් ද, නැව් නංවා මහත් හරසරින් ලක්දිවට එවූ බව වංශ කථාවන්හි දැක්වේ.

උරුවෙල්හි බුද්ධගයාවේ සිට ලක්දිවට වැඩම වූ ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව, කකුසඳ, කෝණාගම, කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලා පිට දුන් බෝධින් වල දක්ෂිණ ශාඛා පිහිටුවා වූ හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීය වූ, මහමෙව්නා උයනේ තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි තැන්හිම රාජාභරණයන්ගෙන් සැරසුණු සොළොස් කුලයක ජනයන් පිරිවැරූ මහරජාණන් අතින්, මිඳී අසූරියන් පමණ අහසට පැණ නැගී බෝධීන් වහන්සේ මහත් වූ සවණක් රැස් විහිදුවා, යළි මහරජු අත වැඩසිටි කල්හි බුදු වසින් දෙසිය තිස්හය වැන්නේ උඳුවප් තුදුස්වක දා සූර්යයා අස්තංගත වූ විට රෙහෙණ නැකතින් රෝපණය කළ බව සමන්තපාසාදිකාවේ හා මහාවංශයේ සඳහන් වේ. එකෙනෙහි අංකුර අටක් පැණ නැගී තරුණ බෝරුක් අටක් ඇතිවිය. එම අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලා දඹකොළ පටුනෙහි නැව් ගොඩනැගි තැන්හි ද, තිවක්ක බ‍්‍රාහ්මණ ගමෙහි ද, ථූපාරාමය, ඉසුරුමුණිය, මහසෑමළුව, සෑගිරි වෙහෙර, කතරගම සහ සඳුන්ගම රෝපණය වූ බව සඳහන් වේ. අන්‍ය වූ ඵල සතරින් උපන් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා ලංකාවේ විහාරස්ථාන තිස් දෙකක සර්වඥයන් වහන්සේගේ තේජස කරණ කොටගෙන පිහිටියහ. 
මෙදින දේවානම් පියතිස්ස රජතුමා ලංකා රාජ්‍යයෙන් හා නානාවිධ පූජා වස්තුවෙන් බෝධීන් වහන්සේ පුදනු ලැබීය. එතැන් සිට ලක්දිව දුටුගැමුණු, පළමුවන සිරිනාග, දෙවන සිරිනාග, අභයනාග, ධාතුසේන ආදී අනුරපුර සියළු රජ දරුවන් ද පුලතිසිපුර පළවෙනි විජයබාහු, මහා පරාක‍්‍රමබාහු ආදී රජ දරුවන් විසින් ද දඹදෙණියේ දෙවන පරාක‍්‍රමබාහු හා මහනුවර කීර්ති ශී‍්‍ර රාජසිංහ ආදී රජ දරුවන් විසින් ද, ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට වන්දනාමාන පුද සත්කාර කෙරෙමින් බෝධින් වහන්සේ ආරක්ෂා කරනු ලැබූහ. එදා මෙන්ම අද ද චිරාගත සාම්ප‍්‍රදායික පුද සිරිත් නො කඩ කොට දිනපතා තුන්වරු පූජාවන් ද, සතිපතා, මාසික හා වාර්ෂික පූජා වශයෙන් ද, නන්විධ පූජාවන්ගෙන් සිරිමාබෝ සමිඳු උදෙසා පුද සත්කාර කෙරෙති. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ශ‍්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කෙරෙන ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජනීයත්වයෙන් අදත් ලක්බිම තුළ වැඩසිටීම සකල ලෝක වාසී ජනතාවගේම පහන් සංවේගයට හේතුවෙනවා නො අනුමානය.

මෙසේ ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ වැඩමවීමෙන් බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමකගේ වැඩමවීම පමණක් නොව ඒ හා සමග මෙහෙණි සස්න, කාන්තා විමුක්තිය, මහබෝ සංස්කෘතිය හා වත් පිළිවෙත් ඇතිවීම ද ගෘහ නිර්මාණ, මූර්ති හා සිතුවම් කලාව ආදී සියළු ශිල්පයන්ගේ ද සංස්කෘතිය හා සාරධර්මයන්ගේ ද පෝෂණයට ඉන් ම` පෑදිණ.

ශී‍්‍ර සම්බුද්ධ ශාසනය, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. ඉන් මෙහෙණි සස්න ලක්දිව ස්ථාපනය වූයේ සඟමිත් තෙරණියගේ ආගමනය නිසාය. එකල්හි සෝවාන් ඵලයට පැමිණ සිටි අනුලා දේවීය ඇතුළු පිරිස මෙහෙණි සස්නට ඇතුළු කරවූයේ සඟමිත් තෙරණිය විසිනි. ලක්දිව කාන්තාවන්ට විමුක්තිය සැලසුනේ ඉන් අනතුරුවය. පුරුෂ පක්ෂයට මෙන්ම ගුණ දහමෙහි හා බණ දහමෙහි හැසිරී විමුක්ති මාර්ගය සලසා ගැනීමට එමගින් අවකාශය සැලසිණ. එපමණක් නොව කාන්තාවන්ට මවක, බිරිඳක, සොහොයුරියක හා සැදැහැවතියක වශයෙන් අනූපමේය ගෞරවාදරයක්, ශ්‍රේෂ්ඨත්වයක් හිමිවිය. මෙම භික්ෂුණී සමාජය අද වනවිට කෙමෙන් පරිහානියට පත්වී ඇත්තේ වී නමුදු දසසිල් මාතාවන් ලෙස හා සාමාන්‍ය උපාසිකාවන් ලෙස කාන්තාවන් විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික මෙහෙය අපමණය. සංඝමිත්තා මහතෙරණියට පින් සිදුවන්නට අපේ මව්බිමට ආගමික, ජාතික, සාමාජික, කලාත්මක ආදී සෑම අංශයකින්ම නොමැකෙන සේවාවක් ඉටුකළ ශ්‍රේෂ්ඨ කාන්තාවන් රැසක්ම දායාද විය. මෙරට භික්ෂුනීන් වහන්සේලාගෙන් ද රටට උදාර සේවාවක් ඉටුවී ඇත. කාන්තාවන්ට ආත්ම විශ්වාසය හා ආත්මාභිමානය ඇතිවූයේ ද සඟමිත් මහ තෙරණියට පින් සිදුවන්ටය. මෙනයින් බලන විට උඳුවප් පෝය දිනය ලක්දිව බෞද්ධ කාන්තාවන්ට සදානුස්මරණීය දිනයක් වේ.

උඳුවප් පුර පසළොස්වක පෝය දිනය සොළොස්මස්ථානයෙන් එකක් වන ශී‍්‍රපාදස්ථානය කරුණා කිරීම ආරම්භ වන දිනයක් වශයෙන් ද ඉතා වැදගත් තැනක් ගනී.
උඳුවප් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් කොට සැලකේ. ජයසිරි මහබෝ සමිඳු වැඩමවීම, සඟමිත් තෙරණියගේ ආගමනය, ලක්දිව මෙහෙණි සස්න පිහිටුවීම, කාන්තා විමුක්තිය ලැබීම හා මහබෝ සංස්කෘතිය බිහිවීම යන මෙකී කරුණු සම්බන්ධයෙන් සලකන විට විශේෂයෙන් ශී‍්‍ර ලාංකික බෞද්ධ ජනතාවට උඳුවප් පෝය දිනය ඉතා සුවිශේෂී දිනයක් වේ.

No comments:

Post a Comment