වප් මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Oct 5, 2017

වප් මස පුර පසළොස්වක පොහෝ දිනය


මහින්දාගමනයෙන් පසු ලක්දිව උපාසක උපාසිකවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදුනාහ. කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූහ. සෑගිරියේ ලෙනක පෝය දින අටසිල් සමාදන් වූ සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැුයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බවත්, වසභ, උපතිස්ස, දාඨෝපතිස්ස, ධාතුසේන වැනි අපේ රජ දරුවෝ ද පෝය දිනයන්හි අටසිල් සමාදන් වී මහත් ශ‍්‍රද්ධාවෙන් ආගමික කටයුතු වල යෙදුනු බවත්, වංශ කථාවන්ගෙන් හෙළිවේ.

වාර්ෂික පුර පසළොස්වක පෝය දිනයන් අතර වප් පුර පසළොස්වක පෝය දිනය ද එම මාසය ද කරුණු කීපයක් නිසාම සුවිශේෂ කොට සැලකේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩමවීම, වස්සානය අවසානයේ මහාපවාරණ දිනය යෙදීම, ධර්මාශෝක රජු වෙත පණිවිඩ යවා ශී‍්‍ර මහාබෝධි ශාඛාවක් වැඩමවා ගැනීමට කටයුතු සංවිධානය කිරීම, අරිට්ඨ මහතෙරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විනය පිටකය සංගායනා කිරීම ආදි ශාසනික කටයුතු කීපයක්ම වප් පෝය මුල් කොට යෙදී ඇත. එසේම කෘෂිකර්මාන්තයෙහිලා බීජමාසය වශයෙන් ද සැලකෙන වප් මාසයේදී සී සෑමේ මංගල්‍යය හෙවත් වප් ම`ගුල් උත්සවයන් ද යෙදේ.

අප මහ බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සක‍්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි සත් වන මාතෘ දිව්‍ය පුත‍්‍රයා ප‍්‍රමුඛ දෙව්, බමුණට අභිධර්මය දේශනා කරමින් වැඩහුන් සේක. ඒ වස් අවසානයේ මහා පවාරණයට සත් දවසක් පමණ තිබියදී සැවැත් නුවර වැසියෝ මුගලන් මහතෙරුන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට කවර දවසක මිනිස් ලොවට වඩින්නේ දැයි විමසූහ. එවිට මුගලන් මහතෙරුන් වහන්සේ සියලූ සත්වයන් විස්මයට පත් කරවා දෙව්ලොව වැඩම කර බුදුන් වෙත එළඹ ”මුළු දඹදිව වැසියෝ තුන් මසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව අද දකින්නෙමු හෙට දකින්නෙමු” යි සිත සිතා ම`ග බල බලා සිටිතියි දන්වා මිනිස් ලොව වඩින්නේ කවර දවසකදැයි විචාළහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙයින් සත් දවසක් ගිය තැන වප් මස මැදි පෝය දින සංකස්ස පුරයට වඩින බව දන්වා වදාළ සේක. මෙය ඇසූ මුගලන් මහතෙරුන් වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම කොට මෙයින් සත් දවසක් ගිය තැන බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බැවින් සියලූ දෙනාට එහි රැුස්වන ලෙස දැන්වූහ. සියලූ ජනයා බුද්ධානුභාවයෙන් කිසිදු දුකක් අපහසුවක් නොමැතිව සංකස්ස පුරයට ලගා වූහ.

බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව වඩින බව දත් සක්දෙව් රජ දෙව් ලොව සිට මිනිස් ලොව සංකස්ස පුර දක්වා කිසිම අපහසුවකින් තොරව වැඩම කිරීම සඳහා සත් රුවන්මය දිව්‍ය හිනි මගක් මවා දුන්හ. මෙසේ සත් වන වස් අවසානයේ දිව්‍ය පෙරහැරින් මිනිස් ලොව වැඩියේ වප් මස පුර පසළොස්වක පෝය දිනයකදීය. මතු බුදුවන මෛත‍්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබූයේ ද වප් පුන් පොහෝ දිනයකය.

පෙරවස් සමාදන් වී තුන්මස ගතවීමෙන් පසු මහාපවාරණය යෙදෙන්නේ ද වප් මස පුර පසළොස්වක දිනයටය. ”අනුජානමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දඹදිව මධ්‍ය දේශයට ධාරානිපාත වර්ෂාව පවතින ඇසළ, නිකිණි, බිනර, වප් යන සතර මාසය වස් කාලය ලෙස එක් තැනක වාසය කරමින් ප‍්‍රතිපත්ති පිරීමේ වැදගත්කම පිළිබඳව අනුදැන වදාළ සේක. එතැන් සිට එම චාරිත‍්‍රය අවිච්ýන්නව අදත් පවත්වාගෙන එයි.

වස් සමාදන්වන සිල්වත් භික්ෂූන් වහන්සේ සිහි කල්පනාවෙන් යුතුව (සතිකරණයෙන්) වස්සාන පටිපදාවන් පුරමින් කාලය ගත කරති. දෙමාපියන් රෝගාතුර වීම, මහා සංඝරත්නයේ කැඳවීම, අසාධ්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ කැඳවීම වැනි අතිශය වැදගත් කරුණකදී ”හත් වෙනි දින අරුණ නැගෙන්නට පෙර ජීවිතයට අනතුරක් නොවුනි නම් පැමිණෙන බව දන්වා ආරාමයෙන් බැහැරට යා හැකි වුව ද හයවන දින රාත‍්‍රියෙහි හෝ ආපසු පැමිණිය යුතුය. එතරම්ම දැඩිව පිළිවෙත් රැුකීම වස් වසන භික්ෂූන් වහන්සේගෙන් අපේක්ෂා කෙරිණ.

වස්සානය නිසි ලෙස සමාදන්ව පිළිපැදි භික්ෂූන් වහන්සේ නමකට පමණක් කඨින චීවරයක් පිළිගත හැකිය.

පාවෙය්‍ය නුවර සිට භික්ෂූන් වහන්සේලා තිස් නමක් සැවැත්නුවර වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව ධාරානිපාත මහ වැස්සේම තෙමී තෙමී පාගමනින් සැවැත්නුවර ජේතවන විහාරයට වැඩම කළහ. වැඩම කළ එම භික්ෂූන් වහන්සේ හා පිළිසඳර කථාවේදී උන්වහන්සේලා සාකේත නුවරදී වස් සමාදන් වී වස් පවාරණය කොට එන අතරමගදී වැස්සට හසුවී තෙමී තෙත බරිතව පැමිණි බව දැන, වෙනත් සිවුරක් ද නොමැති බැවින් තෙත බරිතව සිටින්නට සිදුවූ අයුරු දැක කඨිනාස්තරණාය අනු දැන වදාළ සේක. එතැන් පටන් කඨින චීවර පූජාව උතුම් පූජාවක් කොට සලකා ලොකු කුඩා තරුණ මහළු හැම දෙනාම මහත් ශ‍්‍රද්ධාවෙන් එයට සහභාගි වෙති. වප් අවපෑලවියේ සිට ඉල් පසළොස්වක දක්වා කඨින චීවර පූජා පින්කම් පැවැත්වීම සිරිතය. අතීතයේදී මහා පරාක‍්‍රමබාහු රජු, VI පරාක‍්‍රමබාහු රජු, කීර්ති ශී‍්‍ර රාජසිංහ හා රාජාධිරාජසිංහ යන රජවරු, මහා ඉහළින් කඨින චීවර පූජා සිදුකළ අයුරු වංශ කථාවන්ගෙන් දත හැකිය. ඒ ඉපැරණි පුද සිරිත් අනුව ශී‍්‍ර දළදා මාලිගාවේ ද වාර්ෂික කඨින චීවර පූජාව මෙවරත් මහත් ඉහළින් පැවැත්වේ. අටමහ කුසලයන්ගෙන් ප‍්‍රථම කුසලය වන කඨින චීවර පූජා පුණ්‍ය කර්මයට සහභාගි වීමට ගිහි පැවිදි දෙපක්ෂයම එකසේ කැමතිය.

ලක්දිවට ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ හා භික්ෂුණින් වහන්සේ මෙරටට වැඩමවා ගැනීම සඳහා මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි දඹදිව ධර්මාශෝක රජු වෙත අරිට්ඨ කුමරු අත සංදේශයක් යවා කටයුතු සංවිධානය කර එහි ගමනාරම්භය සිදුවූයේ ද වප් මස මැදි පෝය දිනයකදීය. එසේම මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුදැනුම ඇතිව අරිට්ඨ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විනය පිටකය සංගායනා කරවීම ද වප් පෝය දිනකදී සිදුවී ඇත.

මෙසේ ශාසනික, ජාතික, සංස්කෘතික, වශයෙන් වැදගත්වන කරුණු කීපයකට මූලික වූ වප් පෝය දිනය හා වප් මාසය විශේෂ කොට ලක්දිව බෞද්ධයන්ට සුවිශේෂී වැදගත්කමක් ඇත්තේය.

1 comment: