බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Oct 5, 2017

බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය


බිනර මාසය වස්සාන සෘතුවට අයත් නිසිලෙස වැසි ලැබී ගහ කොළ දළුලා වැඩෙන මාසයකි. ගොඩ මඩ දෙකම සරුසාරව නව බීජ වගාවට සැකසෙන මාසයකි. සොබා දහමේ චමත්කාරය මතුකර දැක්වෙන මාසයකි. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන්, කුරුල්ලන් හා ගහකොළ ඇතුළු සමස්ත පරිසරය සෞම්‍යවත් බවින් හා සුන්දරත්වයෙන් පිබිදෙන මාසයකි. මෙනයින් බලන විට බිනර මාසය සිත කය දමනය කොට සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීමට සුදුසුතම මාසයක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි ගිහි පැවිදි දෙපක්ෂයටම ආගමානුකූල ජීවිතයකට යොමුවීමට සුදුසු සේ සැලකෙන වස්සාන කාලයට අයත් මාසයක් වශයෙන් බිනර මාසය හා බිනර පසළොස්වක පෝය දිනය බෞද්ධයාගේ ඉතා වැදගත් පෝය දිනයක් වශයෙන් සැලකිය හැකිය. වස්සාන සමය බැවින් භික්ෂූන් වහන්සේ බාහිර චාරිකාවන්ගෙන් මිදී ආරාමයට වී බණ භාවනාදියෙහි යෙදෙමින් තම දායක කාරකාදීනට කුසල ධර්මයන්හි යෙදීමට මග පාදා දෙති. ගිහි බෞද්ධයෝ ද තම ගමේ පන්සලේ විහාරාරාමයට සැමදා ගොස් මල් පහන් පූජා කිරීම හා දානමානාදී ආමිෂ පූජාවන්හි යෙදෙන අතර ශීල භාවනාදී ප‍්‍රතිපත්ති පූජාවන්හි ද යෙදීමට අවස්ථාව සලසා ගනිති. මෙසේ වැඩි වැඩියෙන් පින්දහම් කරගැනීමට යොමුවන පෝය දිනයක් වශයෙන් බිනර පෝය අතිශය වැදගත් තැනක් ගනී.

බුදුරජාණන් වහන්සේ ද වැසි කාලය තුළ ධර්ම චාරිකාවන්හි නොයෙදී වැස්සෙන් බාධාවක් නොවන කිසියම් විහාරාරාමයක හෝ වෙනත් ස්ථානයක වැඩ වාසය කරමින් ලෝක සත්වයාට සුවසෙත සැලසූ සේක. පාණ්ඩුකම්බල ශෛලාසනාරූඪව තව්තිසාවේ දිව්‍යපුත‍්‍රයෙකුව උපන් මහාමායා මව්දේවියට සත්වන වසෙහි තාවතිංස බවනයෙහි මාතෘ දිව්‍ය රාජයා ප‍්‍රමුඛ තව්තිසාවැසි දේවගණයාට අභිධර්මය (විජම්බණ) දේශනා කොට වදාළේ ද නිකිණි මාසයේදීය. භාග්‍යවතුන් වහන්සේගේ පස්වන වසෙහි සුද්ධෝදන රජතුමා දැඩිව ගිලන්වී සිටින බව අසා වදාරා ශ‍්‍රාවක සංඝවා පිරිවරා එහි වැඩම කොට දෙසූ දහම් අසා රජතුමා සත්දිනක් විමුක්තිසුව වළඳා රහත් වී පිරිණිවන් පෑහ. 
 
එකල්හි නොබෝ දිනකින් මහා ප‍්‍රජාපතී ගෝතමී සුළු මෑණියෝ ගිහිසැප හැරපියා මහණවනු කැමැත්තෙන් කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් සම්බුදු සස්නෙහි පැවිදි වීමට අවසර අයැද සිටියාය. පළමු දෙවන තුන්වන යන වාර තුනෙහි ඊට අවසර නොදුන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වතින් විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩම කළහ. මහාප‍්‍රජාපති ගෝතමී තොමෝ කාන්තාවන් පන්සියයක් දෙනා සම`ග කෙස් කපා කසාවත් හැඳ කූටාගාර ශාලාව වෙත ගොස් එහි දොරටුව අභියස සිට අඩමින් වැළපෙමින් ආනන්ද තෙරුණ් මගින් පැවිද්ද ලබාදෙන ලෙස නැවත නැවත ඉල්ලා සිටියාහ. එවිට ආනන්ද හිමියෝ බුදුන් හමුවට ගොස් ස්වාමිණී මහාප‍්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම ගැන සැලකර සිටිමියි දන්වා සිටියහ. තෙවරක්ම එම ඉල්ලීම පිරිකෙව් කළ නමුදු පසුව ගුරු ධර්ම අටක් පනවා ඒවා පිළිගැනීමට එකග වන්නේ නම් පමණක් පැවිද්ද ලබාදීමට බුදුහිමි එකග වූයෙන් මහාප‍්‍රජාපතී ගෝතමී තොමෝ එම ගුරු ධර්ම අට හිස් මුදුනෙන් පිළිගත්තෙන් මහණ උපසම්පදාව ලබා පළමුව මහාප‍්‍රජාපතී ගෝතමී තෙරණියෝ රහත් වූහ. මෙසේ මෙහෙණි සස්න පිහිටුවා වදාළේ බිනර පුන් පොහෝදාකය. 
 
එසේම දසවන වස්සානයේදී භික්ෂූන් වහන්සේ දෙපිරිසක් අතර සිදු වූ විවාදයක් නිසා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කොට එහි ගතකළ සේක. එසමයෙහි උන්වහන්සේට ඇතෙකු හා වඳුරෙකු උපස්ථාන කළ බව කියැවේ. රජගහනුවර දී විසිවන වස්සානය ගත කළ කාලයෙහි අංගුලිමාල දමනය සිදුවිය. මෙසේ උන්වහන්ස්ගේ පන්සාලිස් වස් කාලය තුළ විවිධ ශාසනික සේවාවන් සිදුවී ඇති බව පෙනේ. මේ අයුරින් බලන විට වස්සාන සමයට අයත් බිනර මාසය හා එම මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය බෞද්ධයන්ට සුවිශේෂී පෝය දිනයක් සේ සැලකිය හැකිය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහනයේදී ඇවිලෙන සඳුන් දර සෑයෙන් බුද්ධ ග‍්‍රීවා ධාතුන් වහන්සේ සරභූ නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලදුව ලක්දිව ප‍්‍රථම ස්තූප වහන්සේ ලෙස සැලකෙන මියුගුණ සෑයෙහි තැන්පත් කළ බව කියැවේ. එම මහියංගණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්ලය යෙදී ඇත්තේ ද බිනර පෝය දිනයටය. මෙසේ ලක්දිව බෞද්ධයන්ගේ විශේෂිත ආගමික උත්සවයක් යෙදී ඇති පෝය දිනයක් වශයෙන් ද බිනර පෝය දිනය වැදගත් වේ. එබැවින් මෙම උතුම් බිනර පුර පසළොස්වක පෝය දිනයේදී අටසිල් සමාදන් වීම ආදි ප‍්‍රතිපත්ති පූජාවෙන් ද විහාරාරාමයන් කරා ගොස් මල් පහන් පූජා කිරීමාදී ආමිස පූජාවන්ගෙන් ද බුදුන් පුදා තෙරුවන් ගුණ සැමරීම දෙලොව වැඩ සඳහා හේතු වන්නේමය.

1 comment: