නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Oct 5, 2017

නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනය



අනෙකුත් පෝය දිනයන් මෙන්ම නිකිණි පෝය දිනය ද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත් පෝය දිනයකි. භික්ෂූන් වහන්සේ නිකිණි අවපෑලවියට පොහොය කොට නිකිණි පුන් පොහෝදා පසු වස් එළඹීම හා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවීම යනාදි ඉතා සුවිශේෂි කරුණු කාරණා කීපයක්ම නිකිණි පෝය දිනය මුල් කොට ගෙන සිදු විය.

බුදුරජාණන් වහන්සේ, ප‍්‍රථම රහතන් වහන්සේලා හැට නම අමතා ”චරථ භික්ඛවේ චාරිකං, බහු ජන හිතාය, බහු ජන සුඛාය,” යනාදි වශයෙන් බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, මුල, මැද, අග කලණ වු අර්ථ සහිත වු ව්‍යඤ්ජන සහිත වු, දහම දේශනා කරමින් ධර්ම චාරිකාවෙහි යෙදෙන ලෙස අනු දැන වදාළ සේක. මේ අනුව භික්ෂුන් වහන්සේලා වැසි සමයෙහි ද තැනින් තැන සැරිසරමින් ලෝක සත්වයාට සෙත සැලසුහ. එය දුටු අන්‍යාගමිකයෝ දොස් නැ`ගූහ. එම තත්වය හේතූ කොට ගෙන ඇසළ, නිකිණි, බිනර, වප් යන වස්සාන කාලය තුළ ”අනු ජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගංතුං,” යනුවෙන් භික්ෂුන් වහන්සේට වැසි කාලයේ එක් තැනක සිට වස් එළඹීමට නියම කොට වදාළ සේක. එම නියමය පරිදි පෙර වස් විසීම ඇසළ පෝයට පහුදින අවපෑලවියට ද, එදිනට කිසියම් හේතුවක් නිසා වස් සමාදන්වීමට නොහැකි වන භික්ෂුන් වහන්සේට නිකිණි පෝයෙන් අවපෑලවියට ද පසු වස්  එළඹීමට ද නියම කොට වදාළ සේක.

මෙම බුද්ධ නියමය පරිදි, පෙර වස් එළඹීමට නොහැකි වු භික්ෂුන් වහන්සේ නිකිණි පෝයදා සීමාමාලකයක දී පොහොය කොට පසුදා අව පෑලවියට පසු වස් එළඹෙති. මෙසේ පෙර වස් හෝ පසු වස් එළඹීමෙන් ගිහි පැවිදි දෙපක්ෂයටම බණ භාවනා පුද පුජාදී ආගමික කටයුතු තුළින් ශීල සමාධි, ප‍්‍රඥාව වැඩි වර්ධනය කරගැනීමටත්, තෙරුවන් ගුණය හා ශිල ගුණය සිහිපත් කර ගැනීමටත්, ගිහිපැවිදි සම්බන්ධතාවය වැඩිකර ගැනීමටත්, අවකාශය සැලසේ.

පෙර වස් එළඹෙන භික්ෂූන් වහන්සේ නමකට කඨින චීවරයක් අතිරේක වස්ත‍්‍රයක් ලෙස  පිළිගැනීමට අවස්ථා සැලසෙන නමුත්, පසු වස් එළඹෙන භික්ෂූන්වහන්සේලාට කඨින චීවරයක් පිළිගැනීමට නොහැකිය. එහෙත් වස්සාවාසික සිවුරක් පිළිගැනීමට ඉඩ සැලසිණ.

මෙනයින් බලන විට පසුවස් එළඹීමට මුල් වන නිකිණි පෝය දිනය ද ගිහි පැවිදි දෙපක්ෂයටම එකසේ වැගත්වන පෝය දිනයක් සේ පිළිගත හැකිය. එම දෙපක්ෂයටම පෙරවස් විසීමේදී මෙන්ම ශිල, සමාධි, ප‍්‍රඥා ගුණවර්ධනය කරගැනීමටත්, ගිහි පැවිදි සබැඳියාව තරකර ගැනීමටත් ඉන් අවස්ථාව සැලසෙන බැවිණි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් සත් වන දිනයේ මහළු කාලයේදී පැවිදි වු සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර වචන මුල් කොට ගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ශාසනයේ ආරක්ෂාව පතා ධර්ම විනය සංගායනා කිරීමට පියවර ගන්නා ලද්දේ ද නිකිණි පුර පසළොස්වක පුර පෝය දිනයක දීය. රජගහනුවර සප්ත පර්ණි ගුහා ද්වාරයෙහි පිළියෙල කළ විශේෂ මණ්ඩපයකදී මහා කාශ්‍යප, ආනන්ද, උපාලි, ආදි රහතන්වහන්සේලා පන්සියකගේ එක්වීමෙන් මෙම ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. මීට සංඝයා වහන්සේලා තෝරාගනු ලැබුවේ සංඝ සම්මතයෙනි. මේ වන විට ආනන්ද තෙරුන්වහන්සේ රහත් බව ලබා තිබුණේ නැත. උන්වහන්සේ රහත් බව ලබාගන්නා තුරු එම ආසනය හිස්ව තබා හාරසිය අනුනවයක් රහතන්වහන්සේලා සංගායනාව සඳහා තෝරා ගනු ලැබුහ. අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ නිකිණි පෝයදා අළුයම රහත් බව ලැබීමෙන් පසු සංඝායනා මණ්ඩපයෙහි අසුන් ගත්හ.

එහිදී ධර්ම විනය දෙක සංඝායනාවට බඳුන් විය. ඉන් මුලින් සංගායනාවට යොදා ගත් විනය විසඳීම උපාලි මහ රහතන් වහන්සේට භාර විය. විනය පිටකය ග‍්‍රන්ථ පහකින් යුක්තය. චුල්ලවග්ග  පාලිය, මහාවග්ග පාලිය, පාචිත්තිය පාලිය, පරාජිකා පාලිය,  පරිවාර පාලිය යනු ඒ පහයි. එය හදාරා ආරක්ෂා කිරීම උපාලි මහරහතන් වහන්සේ ඇතුඵ ශිෂ්‍ය පිරිසට භාරවිය.

ධර්මය විසඳීම ආනන්ද තෙරුන් වහන්සේට භාරවිය. එසේ සංගායනා කොට සුත‍්‍ර පිටකයේ දීඝ නිකාය ආනන්ද තෙරුන්වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, මජ්ක්‍ධිම නිකාය ශාරිපුත‍්‍ර තෙරුන්වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, සංයුත්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ප‍්‍රමුඛ ශිෂ්‍ය භික්ෂු පිරිසට ද, අංගුත්තර නිකාය අනුරුද්ධ හිමි ප‍්‍රධාන ශිෂ්‍ය පිරිසට ද භාරදෙන ලදී.

මෙකී ශාසනික කරුණු වලට අමතරව ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් රංදෝලි මහ පෙරහර පැවැත්වීම ද නිකිණි පෝය මුල් කොට ගන්නා බැවින් විශේෂයෙන් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට නිකිණි පෝය දිනය සුවිශේෂි ආගමික දිනයක් වී ඇත්තේය.


No comments:

Post a Comment