දුරුතු මස පුර පසළොස්වක පෝය දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Jan 1, 2018

දුරුතු මස පුර පසළොස්වක පෝය දිනය

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් නවවන මාසයේ, තමන් වහන්සේ බිම්සර රජතුමාට දෙවා වදාළ පළමු ප‍්‍රතිඥාව පරිදි රජගහ නුවරට වැඩම කළේත් ලක්දිව මිනිපේ ජනපදයේ මහානාග වනෝද්‍යානයෙහි පිහිටි මහියංගණයට වැඩම කොට වදාළේත්, සීතල දුරුත්තේ සුන්දර සිරි අසිරියෙන් බැබළෙන අද වැනි දුරුතු පුන් පොහෝ දිනයකදීය.

එදින ලක්දිව මහානාග වනඋයනේ මහියංගණ ආදී ප‍්‍රදේශයන්හි බලවත්ව සිටි, කෙළෙස් බරින් බරිත වූ යක්ෂ ග්‍රෝත‍්‍රිකයන්ගේ මහා සමාගමක් පැවැත්වෙමින් තිබිණ.
එවේලෙහි බුදුරජාණන් වහන්සේ අනෝතත්ත විල් තෙරින් නික්ම යක් පිරිස රැුස්ව හුන් තැන්හි අහස් කුස සවණක් ගණ බුදුරැුස් විහිදුවමින් වැඩහුන් සේක. එවිට යක්ෂයෝ කිපී සටනට පිළිපන්හ. නොයෙක් පෙළහරින් යකුන්ගේ ඔද තෙද බිඳි කල්හි, බියට පත් යක්ෂයෝ අභයදානය ඉල්ලා සිටියහ. අප මහා බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ට අභය දානය ලබාදී, පත් කඩය එළාගැන්මට තරම්ව ලත් බිමෙහි වැඩසිට, ඒ යකුන් වෙත අව්, වැසි, ගිනි, ජලය ආදිය මවා පා ”ගිරිදිවයින” දක්වා පළවා හැර දෙසූ දම් බෙළෙන් ලක්දිව ශුද්ධ භූමියක් බවට වූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයකදීය.

මෙදින මෙම අසිරිමත් බුදු පෙළහර අසිරිය නැරඹීමට පැමිණ, බණ ඇසූ දෙවියන් අතර සිටි සුමන සමන් දිව්‍යරාජයා බණ අසා සෝවාන්ව බුදුන් උදෙසා වැඳුම් පිඳුම් කිරීමේ අභිලාෂයෙන් පූජා වස්තුවක් ඉල්ලා සිටියෙන් තමන් වහන්සේගේ සිරස පිරිමැද කේෂධාතු මිටක් ප‍්‍රදානය කළ සේක. සුමන සමන් දෙවියන් ඒ කේෂ ධාතුන් වහන්සේ රන් කර`ඩුවකින් පිළිගෙන මිනිපේ මහානාග වනෝද්‍යානයේ මහියංගණයෙහි බුදු පහස ලබා, දම් දෙසූ තැන, රන් රුවන් අතුරා, ඒ මැද කේෂ ධාතුව සහිත රන් කර`ඩුව නිදන් කොට සත් රියන් පමණ විසිතුරු සෑයක් බඳවා පුද සත්කාර කළ බව වංශ කථාවන්හි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ බුදුවී පළමු වසර තුළම, දෙවියකු විසින් ලක්බිම ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ප‍්‍රථම චෛත්‍ය රාජයා මහියංගණ නම් චෛත්‍යය රාජායාණන් වහන්සේය. අනතුරුව සැරියුත් මහතෙරුන් වහන්සේගේ ප‍්‍රිය ශිෂ්‍ය වූ ”සරභූ” නම් රහතන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, දැවී ගිය රන් දෙනෙන් ලබා ගත් ග‍්‍රීවා ධාතුන් වහන්සේ නිදන් කොට සෑය යළි දොළොස් රියන් උස චෛත්‍යයක් සේ බැඳවූහ. දෙවන පෑතිස් රජුගේ සොයුරු ”උද්ධ චූලාභය” එය තිස් රියන් කොට බැඳවූහ. ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජුන්ගේ මලණුවන් වූ උද්ධචූලාභය තිස් රියන් කොට ද දුටුගැමුණු මහරජු විසින් අසූ රියන් කොට ද මෙම මහියංගණ චෛත්‍යය පිරිකෙව් කොට බැඳවූ බව වංශකාථාවන්හි සඳහන් වේ. මෙසේ මහියංගණ චෛත්‍ය රාජයා පිහිටුවීමෙන් හා වරින් වර පිරිකෙව් කිරීමෙන් ලක්දිව ස්තූප කලාවේ අභිවර්ධනයට අනූපමේය මෙහෙයක් සිදුවිය.

බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ලක්දිව වැඩම කොට යකුන් දමනය කර මිසදිටු බවින් මුදවා සිරිලක පුණ්‍යභූමියක් බවට පත් කළ දුරුතු පෝය දිනය අපට ඉතා සුවිශේෂී පෝය දිනයක් වේ.

මියුගුණ සෑ බිමේ පිහිටි සිරිමා බෝ හිමිගේ ශාඛා බෝ සමිඳු සේවනේදී සිරිස`ගබෝ කුමරුට, ඔහු මයිල් නන්ද හිමි අවවාද දුන් ස්ථානය වශයෙන් ප‍්‍රකටය. එසේම සුමන සමන් දෙවියන්ගේ රැුකවරණය ලත් පූජා භූමියක් වශයෙන් ද මෙම පින්බිම මහත් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. එදා බුදු හිමි සරණ ලක්දිවට ලැබුණ නිසාම දෙවන පෑතිස් රජු දවස මහින්ද මහරහතන් වහන්සේ විසින් මෙහි ගෙන ආ සඳහම් පණිවිඩය කිසිම බාධාවකින් තොරව රජමැදුරේ සිට දුගී පැල්පත දක්වා සියලූ ජනතාව කෙරෙහි මුල්බැස ගැනීමට ඉවහල් වූයේ ඒ දුරුතු පොහෝදා බුදුහිමි පහස මේ ලක්බිම ලැබූ නිසාමය.

බුදුරජාණන් වහන්සේ බිම්සර රජ හට දෙවා වදාළ ඒ පළමු ප‍්‍රතිඥාව පරිදි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදීන් ඇතුළු දහසක් රහතන් වහන්සේ පිරිවරා දුරුතු මස මැදි පොහෝදා රජගහ නුවරට ආසන්නයෙහි වැල්මී වැලින් ගහන වූ උයනෙක, එක් රුකක් මුල වැඩසිට සවණක් ගණ බුදු රැුසින් දිලිහෙමින් වැඩහුන් සේක. මේ අසිරිය දුටු උයන්පල්ලා බුදුරජාණන් වහන්සේ රජ උයනට වැඩම කොට වදාළ බව දැන්වූයෙන් අපමණ පී‍්‍රතියට පත් බිම්සර රජතුමා එක් ලක්ෂ විසිදහසක් පමණ සෙන`ග ගෙන උයනට විත් බුදුන් දැක පස`ග පිහිටුවා වැඳ එකත්පස්ව හුන්හ. එහි රැුස්වූවන් අතර සමහරු බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපයන් වෙත වෙසෙන සේක් ද, තවත් සමහරු උරුවෙල් කාශ්‍යපයන් බුදුන් වහන්සේ වෙත වෙසෙන්නේ ද යන සැකයෙන් යුතුව සිත සිතා සිටියහ. එකල්හි අප මහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප අමතා තොපගේ පර්ෂදයෙහි සැක හරින්නැයි වදාළ සේක. එවිට උරුවෙල් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන අහස් කුස නැ`ගී සත් වරක්ම පෙළහර දක්වා තමන් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකු වූ බව රැුස්ව සිටි පිරිසට දන්වා සිටියහ. එකල්හි මහමෙරක් සේ උස් වූ බුදු ගුණ ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහානාරද කාශ්‍යප ජාතක දේශනාව හා චතුරාර්ය සත්‍යය දේශනාව අසා බිම්සර රජු ප‍්‍රමුඛ පිරිස සෝවාන් වූහ. මෙසේ සෝවාන් වු බිම්සර රජු ප‍්‍රමුඛ පිරිස ලෝකෝත්තර සරණ සීලයේ පිහිටියේ ද අද වැනි දුරුතු පෝය දිනකදිය.

මෙසේ ශාසනික හා ඵෙතිහාසික වශයෙන් අතිශය වැදගත් කරුණු කාරණා කීපයක් නිසාම ව්‍යවහාර වර්ෂයෙන් මුල් පසළොස්වක පෝය හැටියට ගැනෙන දුරුතු පුර පසළොස්වක පෝය දිනය ලක්දිව බෞද්ධයනට ඉතා වැදගත් පෝය දිනයක් වන්නේය.

2 comments: