ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

12:13 PM

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි.

මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර බොහොමයක් බෞද්ධ ආගමික හා හින්දු ආගමික පුද සිරිත් සමඟ සංකලනය වී සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වය ඉස්මතු කෙරෙමින් පවතී. අද පටන් ප්‍රචාරය කෙරෙන එම අති උතුම් මංගල්ලය හා බැ‍ඳුණු ලිපි සංග්‍රහයේ පළමු ලිපිය මෙයයි.

දළදා සිරිත

වර්තමානයෙහි ක්‍රියාත්මක වන බොහෝ දළදා චාරිත්‍ර විධි කුරුණෑගල සිව්වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302 -1326) රාජ්‍ය සමයෙහි ලියැවුණු ‘දාඨා ධාතු චරිත්ත’ නම් වූ දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන් 38 හි පෙරහර මංගල්ලයන් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද විස්තර ඇතුලත් වේ. ඒ අනුව නක්ෂත්‍ර සුභ මුහුර්තියෙන් දළදා මැදුර පිරිසිදු කොට, වියන් බඳවා, නා නා පටපිළියෙන් විසිතුරු කොට සරසා රජු හා ඇමතිගණයා හා ‍නුවර වැස්සන් සත් දවසක් බත්, මල්, පහන් ආදිය පූජා කොට, සත්වන දවස පෙරවරුවෙහි මල්, පහන් ආදිය පූජා කොට පස්වරුවේ දී සුරපුරය මෙන් පුරය සරසා, උත්තර මූලායතනයෙහි ප්‍රධානත්වය ගත් මහතෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං යන දෙ කුලයේ අය සමඟ වැඩ සිටිනා කරඬුව ගන්ධ කුටියෙන් මෑත්කොට, විසිතුරු කොට සැරසූ සුභ ලකුණෙන් යුතු ඇතෙකු යෙදූ රථයෙක්හි උතුම් ආසනයෙක වඩා හිඳුවා ගණවැසි, කිළිං යන දෙ කුලයේ දෙන්නෙකු කරඬුව වැඩමවාගෙන යන ලෙස රථයට නැංවූහ. දළදා කරඬුව වැඩම වූ රථයට පෙරාතුව මහාසංඝයා වහන්සේ තවත් රථයෙක නැඟී කරඬුවේ බැඳි පිරිත් නූල් පිරිත් කෙරෙමින් වැඩම කළහ. දොරණාවැසි කුලයේ කෙනෙකු ලවා, රිදී කටාරයකින් නුවර පෙරහර යන ම‍ඟෙහි පිරිත් පැන් ඉස්සවීය‍. රථයෙහි දෙපස චාමර හා සේසත් ගත්තෝ ගමන් ගත්හ. දළදාගෙයි ධුරය හා විජ්ජතුන් අනතුරුව ගමන් කළහ. ඊට අනතුරුව සිවුරඟ සෙනඟ හා පිරිවර ඇමතීහු රැකවල්ලා ගමන් කළහ. මෙලෙසින් මහපෙරහරින් ‍නුවර පැදකුණු කොට දළදා මැඳුරට ගෙවැදී රජදරුවන්, උත්තර මූලායතන ප්‍රධාන තෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං දෙ කුලයේ අය හා දළදා ගේ බලන්නන් සමඟ කරඬුවේ මුද්‍රාවන් ඉවත් කොට, දළදා වහන්සේ කරඬුවෙන් මෑත්කොට, උත්තර මූලායතන මහතෙරුන් ලවා පළමුව මහාසංඝයා වහන්සේට පෙන්වා ඉන් පසුව රජතුමාගේ සුරතට දළදා වහන්සේ වැඩමවා උස්ව පෙනෙන තැනෙක සිට දළදා වහන්සේ ප්‍රදර්ශනය කළහ. අනතුරුව දළදා මැදුරට වැඩමවා රජතුමා ඉදිරියෙහි දළදා කරඬුව භාණ්ඩාගාරයේ මුද්‍රාවෙන් මුද්‍රා තැබූහ. මෙලෙසින් අවුරුදු පතා පූජා චාරිත්‍ර සිදු කරන ලදී. වර්තමානයෙහි ද ඒ දළදා සිරිතට අනුව පූජා චාරිත්‍ර ඉටුකිරීම සිදුවන බව දක්නට ලැබේ.

‘කප්’ සිටුවීමේ මංගල්ලය

මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්ලය සිදුකිරීමයි. කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන‍ දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප්  සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය හා කිසියම් උපද්‍රවයක් නො මැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට, දේවාශිර්වාදය ලබා ගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ. කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හි ය. එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදා දීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි. මහනුවර මහදේවාල‍ය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැගුනාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැ‍ඟෙනහිර දිශාභිමුඛව සිරිත් ‍පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි‍. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ලිංගික ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා,  බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැ‍ඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය‍ දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා ‍වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබයි. අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමය. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීම එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිවන ලෙස ද ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාලවල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන්, දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම‍ පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැතිවන බව විශ්වාස කෙරිණ‍. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කප’ දියකැපුම් මංගල්ලයේ දී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි පා කර යවනු ලබයි.

දේවාල අභ්‍යන්තර‍ පෙරහර පහට පසු ‍ආරම්භ වන්නේ වීදි සංචාරය කරනු ලබන කුඹල් පෙරහරයි. මෙම ‍කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර ආරම්භ වීමට පෙරාතුව ඉතා සිත් ගන්නාසුළු චාරිත්‍ර කිහිපයක්ම ඉටු කෙරේ. වීදිසංචාරය කෙරෙන සෑම පෙරහර මංගල්ලය දිනයෙක්හිම ශ්‍රී දළදා මාළිගාවේ සිට නිකුත් කෙරෙන පෙර‍හර මංගල්ලයට සූදානම් විය යුතු බව හඟවන පළමු වෙඩිල්‍ලේ හඬ ඇසෙත්ම සුභ මොහොතින් පෙරහරට සහභාගී වන කලා ශිල්පීන් ඇතුළු සියලු දෙනා ස්වකීය ඇඳුමෙන්, පැළඳුමෙන් පෙරහරට සූදානම් වෙති.

දියවඩන නිලමේතුමාගේ ඇඳුම් කට්ටලය

දියවඩන නිලමේතුමා ඇතුළු බස්නායක නිලමේවරු ද සුභ මොහොතින් උඩරට මුල් ඇඳුමෙන් සැරසෙති. දියවඩන නිල‍මේතුමාගේ ඇඳුම් කට්ටලය මෙසේය, රැළි වැටුණු දිග කළිසම, සෝමනය, (පැරණි රජවරු අඳින ලද, බටුගෙඩි වැනි මෝස්තරයන්ගෙන් යුත් චීත්තයකට සමාන මල් වැඩ දැමූ අමුරෙදි විශේෂයක්) සුදු තුප්පොට්ටිය, (යාර අටක්, නමයක් පමණ දිග, අඟල් හතලිස්පහයි - අනූවක් පමණ පළල වේ) රතු (පච්ච) පැහැ තුප්පොට්ටිය, කවනිය, (සුදු, ළා කහ පැහැ‍ය මිශ්‍රිත රන් නූලෙන් වැඩ දැමූ) සුදු යටකමිසය, පපු හැට්ටය, (පපු කොටසට පමණක් රන් කසව් වලින් විවිධ මෝස්තර දැමූ) හැට්ටය, (විවිධ වර්ණයෙන් සැකසේ, රන් කසව් වලින් වැඩදැමූ හංස පූට්ටු, මොණර පූට්ටු ආදී පැරණි මෝස්තර ද සහිත) බඳ පටිය, (වැඩ දැමූ කසව් පටිය, මැණික් ගල් ද අල්ලා ඇත) හිස් වැස්ම, (හැට්ටයට ගැලපෙන රන් කසව් වලින් වැඩ දමා ඇත. රන් හා මැණික් ඇල්ලූ මල් කිණිත්තක් ද අයත් ය. මෑත යුගයේ දී තඹින් නිමවා රන් ආලේපිත හිස් වැසුම් ද භාවිත කරයි) මාල පළඳනා, පාවහන්, (මිරිවැඩි සඟල - හැට්ටයට ගැලපෙන වැඩ දැමූ විසිතුරුව නිමවූවකි) පේරැස් මුද්ද, අත් ලේන්සුව, උල් පිහිය, (මිට ඇත් දතින් හෝ රිදියෙන් නිමවා රන් ආලේප කර ඇති ආරක්ෂාවට පෙනෙන නොපෙනෙන ආකාරයෙන් ඉනෙහි රඳවා ගනී) කුඹල් පෙරහරට සුදු ඇඳුම් කට්ටලයක් ද, රන්දෝලි පෙරහරට වර්ණවත් ඇඳුම් කට්ටලයක් ද අඳියි.

දියවඩන නිලමෙතුමා සැරසුම් කුටියෙන් කාර්යාලයට පිවිසි විට කාරියකරවන‍කෝරාළ ඇතුළු විදානේවරු පැමිණ චිරාගත සම්ප්‍රදායානුකූලව ආචාරකොට පෙරහරේ ගමන් කිරීමට ආශිර්වාද ලබා ගනිති. ඉන්පසු පෙරමුණේරාළ පැමිණ ආචාරකොට එකත්පස්ව සිටි කල්හි, පෙරහර සන්නස හා චාරිත්‍ර ඇතුලත් ලේකම් ‍මිටිය බහන ලද මංජුසාව දියවඩන නි‍ලමේතුමන් වෙතින් පෙරමුණේරාළ වෙත පිරිනැමේ. ඔහු ඉවත්වූ පසු ගජනායක නි‍ලමේ පැමිණ ආචාරකොට අවසන්වත්ම කුඹල් පෙරහරේ දී නම් රිදී අංකුසයත්, රන්දෝලි පෙරහරේ දී නම් රන් අංකුසයත් දියවඩන නි‍ලමේතුමන්ගේ සුරතින් ගජනායක නිලමේ වෙත බාරදී ඇත් පන්තියේ වගකීම පවරයි.

පෙරහර කරඬුව වැඩමවීම

මෙම චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු මුරායුධ කරුවන් හා කාරිය කරවන කෝරාළ ඇතුළු නිලකරුවන් සමඟ දියවඩන නිලමේතුමා වැඩ සිටිනා මාළිගාවේ ප්‍රධාන රිදී ද්වාරය වෙත ළඟා වූ විට මුරායුධ කරුවන් නතර වන අතර දියවඩන නිලමේතුමා උඩමා‍ලයේ ගන්ධකුටියට පිවිසේ. එහිදී තේවාභාර නාහිමි ප්‍රමුඛ තෙරුන් වහන්සේ පිරිත් බණ දේශනා කරද්දී දියවඩන නිලමේතුමාගේ සුරත සඳුන්කිරි පැණියෙන් පිරිසිදු කොට ගත් කල්හි කාරියකරවනකෝරාළ විසින් පළමුව ද, වට්ටෝරුරාළ විසින් දෙවනුව ද දියවඩන නිලමේතුමාගේ දෑත මත පටලේන්සු දෙකක් එලනු ලබයි. අනතුරුව නායක තෙරුන් වහන්සේ විසින් දෙතිසක් සධාතුක ධාතූන් වහන්සේ වැඩසිටින පෙරහර කරඬුව දියවඩන නිලමේතුමාගේ සුරතෙහි තැන්පත් කරනු ලැබූ පසු පාවඩ මතින් කරඬුව වැඩමවාගෙන දියවඩන නිලමේතුමා රන්හිලිය ගෙය බැඳි මංගල හස්තිරාජයා වෙත පියමං කරයි. මෙම අවස්ථාවට අනිවාර්යයෙන්ම එක්විය යුතු කවිකාර මඬුව බුදුගුණ, දළදාගුණ ගායනා කිරීම අරඹති. ගෙපරාළ හා පල්ලෙමාලෙරාළ දෙපස සිට සුවඳ මල් ඉසිමින් ගමන් ගනිති. පෙරහර කරඬුව සමඟ තේවාකාරක තෙරුන් වහන්සේ වැඩම කරන අතර, නිලකරුවෝ ද ඒ හා යති. හේවිසි මණ්ඩපයේ සිට යළිත්වරක් මුරායුධ කරුවන් දෙපසෙහි ගමන් ගන්නා අතර තල්අතු කරුවෝ කරඬුව මුවහ කර ගෙන යති.‍ මංගල හස්තිරාජයා වෙත පැමිණි කල්හි, මනාව සරසා ඇති ඇතුපිට බැඳි රන්හිලි ගෙයි පෙරහර කරඬුව තැන්පත් කරනු ලබයි. අනතුරුව පෙරහර කරඬුව මල් දමින් සරසා, මලින් පුදා කරඬුව වැඩම වන ඇත් රජු සමඟ මහවාහල්කඩ සඳකඩ පහණ කරා ගමන් කරති. දියවඩන නිලමේතුමා නිලකරුවන් සමඟ මහවාහල්කඩ අභියස සඳකඩ පහණ මතට පැමිණි පසු නියමිත වේලාවට කාරියකරවනකෝරාළ පැමිණ මල් මාලාවක් පළඳවා, පෙරහර පිටත් වීමට සූදානම් බව දන්වා පිටත් වීමට ආරාධනා කරයි. ඒ හා සමඟ වෙඩිහඬ නිකුත්වත්ම සුභ මොහොතින් පෙරහර පිටත්වීම ආරම්භ‍ කෙරේ.



කුඹල් පෙරහර මංගල්ලය

පැරණි‍යේදී දේවාල ඇතුළත පෙරහරට පසු වීදි සංචාරය කළ පළමු පෙරහර පහේ දී අලුත් වළං කදක් ගත් කුඹලෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කිරීමේ සිරිතක් පැවතිණ. එසේ රැගෙන යන අලුත් වළං, ශ්‍රී දළදා මාළිගාවට පූජා කෙරිණ. එම නිසා මෙම පෙරහර මංගල්ලයට ‘කුඹල් පෙරහර’ යැයි භාවිතා කළ බව පැවසේ. වර්තමානයේ දී මෙම චාරිත්‍රය ඉටු වන බවක් දක්නට නොලැබේ. වර්තමා‍නයේ දී කුඹල් පෙරහර මංගල්ලයේ පළමු දිනයේ දී ගරු දියවඩන නිලමේතුමා පෙරහරේ ගමන් කරන අතර සෙසු දින හතරේ දී, අනුපිළිවෙලට සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරු ගමන් කරති. කුඹල් පෙරහරට සහභාගී වන නිලමේවරු සුදුපාට මුල් ඇඳුමෙන් සැරසෙති. එසේම කුඹල් පෙරහරේ වර්ණවත් බව අඩුය. දැල්වෙන පන්දම් හා ආලෝකය අඩු ය. සහභාගී වන අලි, ඇතුන් සංඛ්‍යාව ද අඩුය. නැටුම් හා වාදන ශිල්පීන් ද අඩු ය. ඇඳුම්, ආයිත්තම් ද වර්ණවත් නොවේ. එනයින් ද වර්තමා‍නයෙහි මෙම පෙරහර ‘කුඹල් පෙරහර’ නමින් හඳුන්වන බව පෙනේ.

රන්දෝලි පෙරහර

කුඹල් පෙරහර පහට පසුව, රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. රන්දෝලිය යනුවෙන් පැරණියෙහි දී අගමෙහෙසියට භාවිත කෙරිණ. පෙරහර මංගල්ලයේ දී සිව් මහාදේවාලයන් වෙනුවෙන් රැගෙන යන දෝලාවන් ද ‘රන්දෝලිය’ වශයෙන් හැඳින්වේ. එසේ හැඳින්වෙනුයේ මෙම දෝලාවන් තුළ ඒ ඒ දේවාලයන්හි දේවාභරණ වැඩම වීම නිසා ය. පැරණි රාජ සමයේදී මෙම දෝලාවන් දෙපස රාජබිසෝවරු හා කුමාරිකාවෝ ගමන් ගත් අතර වර්තමානයේ දී ඒ ඒ දේවාලයන්හි ආලත්ති අම්මාවරු ගමන් කරති. රන්දෝලි පෙරහර වර්ණවත් ය. නිලමේවරු වර්ණවත් ඇඳුමෙන් සැරසෙති. කලාකරුවෝද, අවශේෂ රාජකාරිකරුවෝද වර්ණවත් ඇඳුම් අඳිති. කොඩි සේසත් වැඩි ය. අලි, ඇතුන් සංඛ්‍යාවද වැඩි ය. සහභාගීවන කලා ශිල්පීන්ගේ සංඛ්‍යාවද වැඩි වන අතර, දල්වන පන්දම් සංඛ්‍යාව හා ආලෝකය ද වැඩි ය. එසේ වර්ණවත්  බවින්  වැඩි  බව නිසා  ‘රන්දෝලි පෙරහර’ යැයි ද වර්තමානයෙහි සැලකේ. රන්දෝලි පෙරහර අවසන් වන්නේ ඇසළ පුර පසළොස්වක‍ හෝ නිකිණි පුර පසළොස්වක පෝය මුල්කර ගෙන ය. සියලු නැකැත් සකසා ගන්නේ ඒ අනුවය. අවසන් රන්දෝලි මහපෙරහර ඉතා වර්ණවත් ලෙස අලි, ඇතුන් හා කලා ශිල්පීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීම සිරිත ය. පන්දම් කරුවෝ ද අධික වෙති.

පළමු රන්දෝලි පෙරහර දින නවපෑ බුද්ධ පූජා අවස්ථාවේදී ආදිවාසී වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් සාම්ප්‍රදායක මී පැණි පූජාවට පැමිණ පූජා පැවැත්වීම සිරිතක් වශයෙන් ඉටුකෙරේ.

අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර ආගමික සහයෝගීතාවය ඉස්මතුකෙරෙමින් පුල්ලෙයාර් ‍කෝවිලේ (ගණදෙවි කෝවිලේ) භාරකාර මණ්ඩලය පූජා වස්තූන් රැගෙන පැමිණ වතාවත් හි යෙදී ‍දියවඩන නිලමේතුමාට ද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි පවතින වැදගත් චාරිත්‍රයකි.

මෙම අවසන් මහපෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රීයේ දී කෙටි පෙරහරකින්, ‍පෙරහර කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරය කරා වැඩම වීම පැරණියේ සිට පවතින සිරිතකි. එහි පෙරහර වඬමවා, කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කිරීම සිදුවේ. මෙහිදී කරඬුව බාරවනුයේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේ වෙතය. එහි අවශේෂ මහසංඝරත්නය ද ඒ සඳහා සහභාගී වෙති. සිව් මහාදේවාල වෙනුවෙන්, මහදේවාලයේ බස්නායක නිලමේතුමා ද, ශ්‍රී දළදා මාළිගාවේ පල්ලෙමාලෙරාළ ද කරඬුව මුරකිරීමට සහභාගි වෙති. එතැන් සිට පසුදා දහවල් පෙරහර ආරම්භ වනතුරු ශ්‍රී දළදා මාළිගාවේ තේවාකටයුතු සිදුවන ආකාරයෙන් ම හේවිසි පූජා සමඟ නන්විධ පූජා තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලබයි.

දියකැපුම් පෙරහර හා දහවල් පෙරහර මංගල්ලය

ඇසළ හෝ නිකිණි පෝය දින අවසන් මහ රාත්‍රී පෙරහර ගෙවැදීමෙන් පසු, දියකැපුම් පෙරහර ආරම්භ වේ. සතර මහා දේවාලයේ කපුවන් සමඟ පිටත්වන දියකැපුම් පෙරහර ගැටඹේ තොටට ලඟා වී, එහි බෝධිය අසල දෝලාවන් තැන්පත් කොට, කපුවන් ආවතේව කරුවන් සමඟ ගඟදිය මැදට ගොස්, අටමඟල අඳවා, ස්තෝත්‍ර ගායනාකොට, රැගෙන ගිය කප හා පසුගිය වසරේ පුරවාගත් දිය ගඟට එක්කොට, රන් කඩුවෙන් දි‍ය දෙබෑවන සේ දිය කපා, රැගෙන යන කෙණ්ඩියට යළි දිය පුරවා ගැනීම සිදුවේ. දිය පුරවා ගැනීමෙන් පසු කෙණ්ඩියෙහි කඩවහ බැඳ, රන් දෝලාවන් තැන්පත් කොට ඇති බෝධිය අසලට පැමිණ දොස් දුරුකිරීමේ සෙත් ශාන්ති පවත්වා රන් කෙණ්ඩි, රන් කඩු, රන් දෝලියෙහි බහා දේවායුධ ගෙන කපුවෝ ඇතුපිට නැගී පෙරහරින් ගණදෙවි කෝවිල කරා පැමිණෙති. ගණදෙවි කෝවිලට පැමිණි පසු එහි කපුවෝ සෙත් ශාන්තිකර්ම චාරිත්‍ර පවත්වති. දහවල් පෙරහර ආරම්භ වනතුරු එහි සිට දහවල් පෙරහර පිටත් වී, ගෙඩිගේ විහාරය ආසන්නයේ - නගර සභා හන්දියේ දී මාළිගාවේ පෙරහර සමඟ එක් වී, ශ්‍රී දළදා මාළිගා‍ චතුරශ්‍රයට පැමිණ, තුන් වරක් ප්‍රදක්ෂිණා කොට, ගෙවැදීම සිරිතයි.

පෙරහර ගෙවැදීමෙන් පසු, රටේ ජනනායකයා වූ අතිගරු ජනාධිපති තුමන් වෙත පෙරහර සංදේශය පිළිගැන්වීමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහා දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමේවරු ජනාධිපති මැදුර කරා කෙටි පෙරහරකින් ගමන් කරති. මෙම චාරිත්‍රය පෙරහර මංගල්ලයට එක් වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේදී බව පැවසේ. ඊට පෙර රාජ්‍යසමයෙහි දී මඟුල් මඩුවේ පෙනී සිටින රජතුමා මුණගැසී, ඒ ඒ දේවාලවල කපුවන් පෙරහර සාර්ථක‍ ලෙස පැවැත්වූ වග, සැලකර සිටීමේ චාරිත්‍රයක් පැවතුණු බව කියැවේ.

පෙරහර සංදේශය පිළිගැන්වීමෙන් පසු, පෙරහර හා සම්බන්ධ අවසන් චාරිත්‍රයක් වශයෙන් පැවැත්වෙනුයේ මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලයේදී ‘වළියක් නැටුම’ පැවැත්වීමය. දියකැපූ පසුදින සිට රාත්‍රී හතක් නොකඩවා වළියක් නැටුම පැවැත්වේ. එහි ප්‍රථම දිනය ආරම්භ කරනුයේ දළදා මාළිගාවේ සවස ගිලන්පස පූජාව ආරම්භ වන හේවිසි නාදය සමඟයි. වළියක් නැටුම පවත්වනුයේ දළදා පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් ඇතුළු සෑම සියලු දෙනා වෙත සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහායි. මෙම වළියක් නැටුම සඳහා පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් සහභාගී නොවේ. සාම්ප්‍රදායිකව අලුත්නුවර හා මාවනැල්ල යන ප්‍රදේශයන්හි පරම්පරා දෙකක ශිල්පීහු වළියක් නැටුමට සහභාගී වෙති. ඉතා පිරිසිදුව පැවැත්වෙන මෙම නැටුමට පැරණියේ දී රජතුමා ද සහභාගී වී ඇත.


මේ ආකාරයෙන් සලකා බලන කල්හි මහනුවර ඇසළ පෙරහර මංගල්ලය හා සබැඳි චාරිත්‍ර ආගමික හා සංස්කෘතික චාරිත්‍ර ධර්මයන්හි ශ්‍රේෂ්ඨත්වය කියාපාන චාරිත්‍රයෝම වෙති. මෙම චාරිත්‍ර ධර්මයන් රැකගැනීමට අප රජදරුවෝ මෙන්ම කලින් කලට පත් වූ දියවඩන නිලමේවරු ද උත්සුක වූහ. මෙම චාරිත්‍ර ධර්මයන් නො වෙනස්ව පවත්නා තාක්කල් දෙස්, ‍විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් මෙම පෙරහර මංගල්ලය කෙරෙහි ඇද බැඳ තබා ගැනිමට අපට හැකි වෙනවා ඇත.         

-  කේ. මීගහකුඹුර.

You Might Also Like

0 comments

ShareThis