නොකිළිටි සිතින් දහම දකිමු - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Jul 30, 2013

නොකිළිටි සිතින් දහම දකිමු

නොකිළිටි සිතින් දහම දකිමු

දීඝ නිකායේ මහා වග්ගයෙහි ‘මහා සතිපට්ඨාන සූත්‍රය’ හා මජ්ඣිම නිකායේ ‘සතිපට්ඨාන සූත්‍රය’ යන තන්හි “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොක පරිද්දවානං සමතික්මාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස, සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා” හි සතිපට්ඨානය නම්, සතිය හෙවත් සිහිය මනා අරමුණෙහි පිහිටුවීම ය. සතර සතිපට්ඨානය මනා සේ වැඩීම, රාග මෝහාදියෙන් පිරිසිදු වීම පිණිස, සෝක පරිදෙවයාගේ ඉක්මවීම පිණිස, කායික මානසික දුක් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධය පිණිස, නිර්වාණය ප්‍රත්‍යක්ෂ  කිරීම පිණිස ඇති ඒකායන මාර්ගයයි, ඒ සතර සතිපට්ඨාන සූත්‍රයෙහි චිත්තානුපස්සනාවට පසුව එන, දහම අනුව සිහිය යොමු කර දහම මනාව වටහා ගැනීමෙන්, මනාව වැඩීමෙන් සිහිය යොමුකර පිහිටුවීම ධම්මානුපස්සනාවයි. ධම්මානුපස්සනාව මෙසේ මනා සිහියෙන් යුතුව මනාව වැඩීමෙන් නිවන් මඟ පසක් කර ගත හැකිය.

ධර්මයන්හි ධම්මානුපස්සීව වෙසෙන තැනැත්තා පංච නීවරණ ධර්මයන්හි ඒ ඒ නීවරණයන් නොයෙක් අයුරින් පුන පුනා බලමින් ධර්මානුදර්ශීව‍ වෙසෙයි. හෙතෙම තම සිත් සතන්හි කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්චාව යන ඒ ඒ නීවරණ ධර්මයන් වෙන් වෙන්ව ගෙන තමා තුළ ඇත්තා වූ අසවල් නීවරණ ධර්මය තම සිත් සතන් හි ඇති බව මනාව දැන ගනියි. අසවල් නීවරණ ධර්මය තමාගේ සිත් සතන්හි නැතැයි ද මනාව දනී. තමාගේ සිත් සතන්හි නැති නීවරණ ධර්මය ද මනාව දනී. යම් සේ යම් කරුණෙකින් අසවල් නීවරණ ධර්මයේ ඉපැද්ම වේ ද එයත් මනාව දනී. යම් සේ උපන් නීවරණ ධර්මයක් ප්‍රහාරණය වෙත් ද එයත් දනී. යම් ප්‍රහීණ වූ නීවරණ ධර්මයක මත්තෙහි නො ඉපදීමක් වෙයිද එයත් මනාව දනී. මෙසේ යටකී කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්චාව යන නීවරණ ධර්මන් වෙන වෙනම ගෙන නීවරණ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සීව වෙසෙයි. එසේම මෙරමාගේ සිත් සතන්හි හෝ නීවරණ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සීව වෙසෙයි. විටෙක තම සිත් සතන් හි වන්නා වූත් විටෙක මෙරමාගේ සිත් සිතන් හි වන්නා වූත් නීවරණ ධර්මයන් කෙරෙහිත් ධම්මානුපස්සීව වෙසෙයි. නීවරණයන්ගේ ඉපැත්මට හේතු වූ දෑ නොයෙක් අයුරින් නැවත නැවත බලමින් නීවරණ ධර්මයන් හි ධම්මානුපස්සීව වෙසෙයි. නීවරණ ධර්මයන්ගේ විනාශයට හේතු වූ කාරණා දැන නොයෙක් අයුරින් නැවත නැවත බලමින් ද නීවරණ ධර්මයන් හි ධම්මානුපස්සීව වෙසෙයි. නීවරණ ධර්මයන් ඇතැයි සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැතැයි එළැඹ සිටි සිහියෙන් වෙසෙයි. ඒ මත්තෙහි නුවණ වැඩීම පිණිසම වෙයි. තෘෂ්ණා නි#ශ්‍රය, දෘෂ්ටි නි#ශ්‍රය දෙකෙහිම හසු නොවී වෙසෙයි.

එකඟ වූ සිතක්, නොකිළිටි සිතක්, පිරිසිදු සිතක් ඇති කර ගැනීමෙහිලා භාවනාවෙහි යෙදෙන කවරෙකු වුවද නීවරණ ධර්මයන් ඒකාන්ත වශයෙන් ජය ගත යුතුය. මිනිසා නොමඟට යොමු කරවන ‍ප්‍රධානතම බලවේගය නීවරණයන් ය. එබැවින් මෙලොව පරලොව උභය ලෝකාර්ථ සිද්ධිය උදෙසා නීවරණ ජය ගත යුත්තේ ම ය. නීවරණ ධර්මයන් හි මුලට යෙදෙන කාමච්ඡන්දය වනාහි ඇස, කන, නාසය, දිව, කය යන පස් දොර හා සම්බන්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදී වස්තු කාමය ද, එකී වස්තු කාම අරමුණු කොට සිතේ උපදින ක්ලේශ කාමය ද වශයෙන් දෙ කොටසකි. මෙම දෙ ආකාර කාමයන් හි ඇලීම, ගැටීම ඇති නොකර ගන්නේ නම් කාමෝඝයට හසු නොවී සිත එකඟ කර ගෙන විමුක්ති සුවය ළඟා කරගත හැකිය. ඒ සඳහා ඉඳුරන්ගේ සංවර බව ඇති කරගෙන රූපාදියෙහි නොබැඳී සිත සන්සුන් කරගත යුතුය. කාමච්ඡන්දය දුරු කිරීමෙහිලා කායගතා සතිය වැඩීමෙන් සිත සන්සුන් කර ගැනීම වැදගත් වන්නේ ය.

පංච නීවරණයන් හි දෙවැන්න වූ ව්‍යාපදය යනු ක්‍රෝධය යි. ක්‍රෝධය හෙවත් කෝපය ඇති වූ විට සිත අපවිත්‍ර වේ. ඉවසීම හා ශාන්තිය නැති වේ. ක්‍රෝධයක් සිත් හි ඇති වූ වහාම ඉවසීම, ශාන්තිය නමැති පවිත්‍ර ජලයෙන් සිත සෝදා හැර දහමට සිත යොමු කළ යුතුය. එසේ නොමැති වන්නේ නම් එකී ක්‍රෝධය මුල්කොට වෛරය, අමනාපය, පළිගැනීම ඉස්මතු වී තමා ද, අනුන් ද විනාශය කරා ලන්වේ. එබැවින් ධම්මානුපස්සනාවෙහි යෙදෙන්නා ව්‍යාපාදය හෙවත් ක්‍රෝධය පිළිබඳ මුල් සිඳ බිඳ දැමිය යුතු ය.

නීවරණ ධර්මයන් හි එන ථීනමිද්ධය යනු සිතේ කම්මැලි ගතිය යි. උනන්දුව නො මැතිකම යි. සිතේත් චෛතසිකයන්ගේත් ඇති වන එම මැලි ගතිය මුල් ‍කොට දාන, ශීල, භාවනාව ආදියෙහි උත්සාහය, උනන්දුව නැති වෙයි. නොකිළිටි සිතින් භාවනා කොට සසර ජය ගැනීමට යත්න දරන්නා අනිවාර්යයෙන් ම ථීනමිද්ධය ජය ගත යුතුම නීවරණයකි. ඒ සඳහා නො පසුබට උත්සාහය, ධෛර්යය, අධිෂ්ඨානය තම සිත තුළ වඩා වර්ධනය කර ගත යුතුය.

උද්ධච්ච කුක්කුච්චයෙන් සිතේ නො සන්සුන් බව, සිතේ විසිරුණු බව ඇති වෙයි, සිත වල්මත් වෙයි. සිත නන්විධ බාහිර අරමුණු වලට ඇදීයන්නේ නම්, ඒකග්ගතා සිතින් භාවනාවෙක යෙදීමට හෝ එම භාවනාව සාර්ථක කර ගැනීමට නො හැකි වන්නේ ය. එය භාවනාවකට බලවත් බාදාවක් වන්නේ ය. ඒ නිසා උද්ධච්ච කුක්කුච්චය සපුරා ඉවත් කර ගත යුතුය.

පස්වන නීවරණය විචිකිච්චාව යි‍. විච්කිච්චාව යනු සැකය යි. ත්‍රිවිධ රත්නය කෙරෙහි සැක ඉපිද වීම, පිරිසිදු දහම කෙරෙහි සැක ඉපිද වීම, කර්මය, පුනරුප්පත්තිය කෙරෙහි සැක පහළ වීම, පිරිසිදු භාවනාවකට සෑම අතින්ම බාදක වන්නේ ය. එබැවින් තම සිත තුළ විචිකිච්චාව මුල් සිඳ දමා පැහැදුණු සිතින්, ධර්මය සැක හැර දැන, ශ්‍රද්ධාවන්තව හා ශීලවන්තව භාවනාවෙහි යෙදීමෙන් සසර ජය ගැනීමට හැකි වන්නේ ය. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව හා විශ්වාසය ඇතිකර ගැනීම සත්‍යාවබෝධය පිණිස අතිශයින්ම වැදගත් ව‍න්නේ ය. විචිකිච්චාව හෙවත් සැකය දුරු කොට ගත් විට නො දන්නාකම නැති කර ගැනීමට පහසු ය. දැනුම ඇති කරගත් විට විච්කිච්චාව නැති කර ගැනීමට පහසු වෙයි.       


ධම්මානුපස්සීව සිටින තැනැත‍්තේ නීවරණ පබ්බය මඟින් පමණක් නොව, ස්කන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ඣඞ්ග පබ්බය, සච්ච පබ්බය (පබ්බය, පර්වය - කාණ්ඩය) යනාදී ධර්මයන් ද ඒ ඒ ධර්ම කාණ්ඩයන් නුවණින් බලන සුලුව වාසය කරමින් තමා තුළ ‍වූ ධර්මයන් නුවණින් බලන සුලුව වාසය කරයි. බාහිර වූ හෝ ධර්මයන් නුවණින් බලන සුලු වූයේ වාසය කරයි. තමා හා මෙරමා ද වූ ධර්මයන් නුවණින් බලන සුලුවූයේ වාසය කරයි. ධර්මයන් හි හටගැන්ම නුවණින් බලන සුලුව වාසය කරයි. ධර්මයන්හි විනාශය ද නුවණින් බලන සුලුව වාසය කරයි. මත්තෙහි ඤාණය වැඩීම පිණිස, නුවණ වැඩීම පිණිස, සිහිය වැඩීම පිණිස හුදෙක් ආර්ය සත්‍ය ධර්ම පමණක් ඇතැයි යන සිහියෙන් එළැඹ සිටී. තෘෂ්ණා දෘෂ්ටි නි#ශ්‍රය රහිතව වාසය කරයි. කිසිවක් මම ය, මාගේ ය කියා නො ගනී. මෙසේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන්හි ද ධර්මානුපස්සීව වෙසෙන්නේ නම් විමුක්තිය හෙවත් නුවණ ඒකාන්ත වශයෙන් ලබා ගත හැකිය.       

1 comment:

  1. සුළග දෑඩි වී වසින____ මොහොතට
    ගග ද රළු වී ගලන_______ලෙසිනට
    කෙලෙස් මතු වී තිබෙන___ සිතකට
    නොහැක පත්වනු නිවෙන __සතුටට

    ReplyDelete