පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Jun 8, 2017

පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය

සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය, ඉතා වැදගත් වන්නාසේම විශේෂයෙන් ලක්වැසි බෞද්ධයනට පොසොන් පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පොහෝ දිනයක් වන්නේය. සිදුහක් කුමරු උයන්කෙළි පිණිස ගොස් එද්දී දුටු පෙරනිමිති සතරෙන් තෙවන පෙරනිමිත්ත වූ මරණය දැක සසර කල කිරුනේ ද පොසොන් පොහෝ දිනයකය.
ශී‍්‍ර සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වර්ෂයෙහි, දඹදිව ධර්මාශෝක මහාධිරාජයාගේ පුත‍්‍ර මහින්ද මහරහතන් වහන්සේ, ශී‍්‍ර ලංකාදීපයට වැඩම කිරීමෙන්, පසු බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ බෞද්ධ ශිෂ්ටාචාරය, සංස්කෘතිය, සමාජ ගති සිරිත්, කලා ශිල්ප හා ධර්මශාස්ත‍්‍රීය අධ්‍යාපනය ආදි සකල විධ අංගෝපාංගයක්ම සිංහල ජාතියට උරුම විය. එමගින් ආගමික, ජාතික, සාමාජික ආදී සියලූ අංශයන්ගේ අභිවර්ධනයක් හා පුනරාලෝකයක් ඇතිවිය.

මේවන විටත් ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කර තිබූයෙන් බුදු දහමේ අරුණැල්ල ලක්බිමට පතිත වී තිබිණ.

ක‍්‍රිස්තු පූර්ව 307 වන විට පූර්ව කාලීන විවිධ ආගමික විශ්වාසයන්ගෙන් ලක්දිව වෙළී පැවතියේය. යක්ෂ වෘක්ෂාදී විවිධ ඇදහීම් සිදුකළහ. එහෙත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ වැඩම වීමත් සමග බෞද්ධාලෝකය පැතිරී උතුම් බෞද්ධාගමික පූජෝත්සව දිනයක් බවට පොසොන් පොහෝ දිනය පත්විය.

මහින්ද මහරහතන් වහන්සේ වැඩම කිරීමට පෙර පොසොන් දිනය, රජතුමා ප‍්‍රධාන රටවැසියන් විනෝදය පිණිස නොයෙකුත් ක‍්‍රීඩාවන්හි යෙදෙන ක‍්‍රීඩෝත්සව දිනයක් බවට පත්ව තිබිණ. විශේෂයෙන් එදින විනෝදය පිණිස දඩ කෙළියෙහි යෙදෙන දිනයක් විය.

මහින්ද මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස මහරජු මුණගැසුනේ මහරජු පිරිස සමග මිහින්තලේ අඹ තලාවෙහි මුවන් දඩයමේ යන අතරතුර බුදුවසින් දෙසිය තිස්හය වැන්නේ පොසොන් පුන් පොහෝ දිනයකය.එහිදී මාහිමි ”තිස්ස, තිස්ස නවතින්න, මෙහි එන්නැයි කී බසින් වහා නතර වූ රජු අමතා නැගූ පැනයන්ට සුදුසු පිළිතුරු සැපයූ දේවානම්පියතිස්ස මහරජු ස්වකීය බුද්ධි ශක්තිය ද ප‍්‍රකට කරමින් අවිහිංසාවාදිත්වය සමග බුදු දහම වැළඳත්තේ  උතුම් පොසොන් පොහෝ දිනයේදීය.

බුදුරජාණන් වහන්සේගේ ඥාන පද සතර උපමා කොට බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය විස්තර කෙරෙන, ”චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස මහරජු ප‍්‍රධාන පිරිසට දේශනා කළේ ද මෙදිනය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ විෂයෙහි බුද්ධෝපස්ථානයන්ට ගොස් පෙරළා පැමිණෙමින් සිටි පිලෝපිත නම් පිරිවැජිතෙම තමන් ගෞතමයන් වහන්සේ වෙත පැහැදුනු අයුරු ජානුස්සෝනු බමුණාට බවසන්නේ ”ඇතුන් ඇල්ලීමෙහි දක්ෂයකු, වනයෙහි ඇත් පා නිරීක්ෂණය කොට, මෙම ඇත් පා අසවල් හස්ති රාජයාගේ යැයි සැක හැර දැනගන්නා ආකාරය බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරු ”පිලෝතික” පරිබ‍්‍රාජකයා ”ජානුස්සෝණි” නම් කොසොල් රජුගේ අග‍්‍ර පුරෝහිතයාට විස්තර කොට කී පරිද්දෙන් මිහිඳු මහරහත් වහන්සේ විසින් සුදේශිත ත‍්‍රිවිධ රත්නයේ ගුණ ප‍්‍රකාශිත ”චුල්ලහත්ථිපදෝපම සූත‍්‍ර” දේශනාව ශ‍්‍රවනය කළ දේවානම් පියතිස්ස මහරජු ප‍්‍රමුඛ හතලිස් දහසක් පමණ පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බෞද්ධ උපාසකයෝ බවට පත්වූහ. චුල්ලහත්තිපදොම සූත‍්‍රය දෙසූ දින සවස් භාගයේ ධර්මශ‍්‍රවණය සඳහා කාලඝෝෂා කළ සුමන සාමණේරයන්ගේ කාලඝෝෂා හ`ඩ අසා එතනට රැුස්වූ දෙවියන්ට ද ධර්මාභිසමය විය. චුල්ලහත්තිපදොපම සූත‍්‍ර දේශනාවෙන් පසු සමචිත්තපරියාය සූත‍්‍රය, දේශනා කරන ලදී. පසුපනසක් පමණ අරිට්ඨාදී රාජකීයෝ කෙස් බාද්දී හරත් බවට පත්වූහ. අනුලාදී කාන්තාවෝ පන්සියයක් පමණ දෙනා බණ අසා සෝවාන් වූහ.

දෙවපෑතිස් රජතුමාගේ ඥාති ඝණයාටම අයිති අරිට්ඨ කුමරු ද අනුලා බිසව ද ඇතුළු රාජකීයයන් මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා කොට වදාල ධර්ම දේශනාවන් අසා පැහැද ධර්මඥානාභිවෘද්ධිය ලැබී සසුන්ගත වීමෙන් ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ලක්දිව ප‍්‍රතිස්ථාපනය විය.

එපමණක් නොව අනාගාමීව සිටි ”භණ්ඩුක” නම් කුමරු පැවිදිව උපසපන් වූයේ ද පොසොන් පොහෝ දිනයේදීය.

මිහිදු මහරහතන් වහන්සේ පසුදින රජ මැදුරට වැඩම කොට විමානවත්ථු, පේතවත්ථු, සච්ච සංයුක්ත යන දේශනා ආදිය පැවැත්වීමෙන් අනතුරුව අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි වූහ. මේ අනුව සම්බුද්ධ ශාසනය ලක්දිව ප‍්‍රතිෂ්ඨාපනය විය.

තිස්සමහාරාමය, ථූපාරාමය වැනි වෙහෙර විහාර කර්මාන්තය ද, අනර්ඝ ගෘනිර්මාණ ශිල්පය ද, විසිතුරු සිතුවම් කලාව ද, ඇතුළු සකල විධ කලා ශිල්පයන් ද, සාරධර්ම පෝෂණය හා භාෂා ශාස්ත‍්‍ර දියුණුව ද ලබා ලක්වැසි ජන ජීවිතයේ මහත් පෙරළියක් සිදුවූයේ පොසොන් පොහෝ දිනය මුල්කොට සිදුවූ පරිවර්තනය නිසාමය.

ශ‍්‍රී දළදා මාලිගාවෙි වාහල නාග උපසමිපදා පෙරහැර මංගල්ලය  මෙවර යෙදී ඇත්තේ ජූනි මස 08 වන ගුරු දිනට යෙදී ඇති පොසොන් පුරපසළොස්වක දිනයට වීම සුවිශේෂි සිද්ධියකි. 

පොසොන් පොහෝ දිනය වැසියනට බුද්ධ ධර්මය ලැබුණු දිනයයි. ඔවුන්ගේ සිතුම් පැතුම්, ගතිගුණ ආදිය සමග සමස්ත ජීවන ක‍්‍රමය වෙනස්වූ දිනයයි. පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය වූ දිනයයි. මේ ආදී කරුණු කාරණා රාශියක් නිසා පොසොන් පොහෝ දිනය ලක්වැසි ජනතාවට අතිශය ශ්‍රේෂ්ඨ දිනයකි.

බුදු දහමේ පැහැදුණු දෙවනපෑතිස් මහරජු මහමෙව්නා උයන සග සතු කොට පූජා කළේය. රාජකීයයන් අනුගමනය කරමින් සාමාන්‍ය මහජනයා ද දහස් ගණනින් නව දහම මහත් ශ‍්‍රද්ධාවෙන් වැළඳගත්හ.

No comments:

Post a Comment