වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය

9:46 PM

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සිදුහත් කුමර සමයේ ව්‍යාධි (රෝගියෙක්) දැක සසර කලකිරුණේත් ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත්කළේත්, ලාට රට විජය කුමරු සත්සියයක් පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතින ආරම්භ කළේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.
දඹදිව කිඹුල්වත්පුර සුද්ධෝදන මහරජුගේ හා මහාමායා දේවීන්ගේ පුත‍්‍ර රත්නය ලෙස සිද්ධාර්ථ කුමාරයාණන් මෙලොව උපත ලැබීම තුන්ලෝ වැසියන්ගේ ප‍්‍රීතියට, සංතුෂ්ටියට හා පරම ශාන්තියට හේතුවිය. උන්වහන්සේගේ උත්පත්තිය නිසා භාරත දේශ වාසීන්ට පමණක් නොව සකල ලෝකවාසීන්ටම විමුක්තිය හා පරම ශාන්තිය උදාවිය. සිදුහත් උපතින් එදා සිට අද දක්වා ලෝක සත්ත්වයාට සිද්ධ වූ අති විපුල ලාභය අපමණය. ”සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් ධම්මපදයේ බුද්ධ වග්ගයේ දැක්වූ අයුරු බුදු උපත පරම සැපයට හේතුවක්ම විය. මෙම අති උතුම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ වෙසක් දිනය බෞද්ධයන්ගේ සදානුස්මරණීය පුණ්‍ය දිනයක්ම වේ.

සියලූ බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය ස්වයම්භූඥානයෙන් අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ ද, මෙම අසිරිමත් වෙසක් දිනයකදීමය. මෙසේ ලෝක සත්ත්වයා කෙරෙහි පතළාවූ කරුණා මෛත‍්‍රීන් පුරා බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ ලොව පහළවීම සියල් ලෝසතුනට සසර සයුරෙන් එතරවීමට අගනා පහුරක් බඳු විය. උන්වහන්සේ සියලූ දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලූ ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය පිණිස, හිත පිණිස, සුව පිණිස හේතු සාධක විය. මෙසේ සර්වඥයන් වහන්සේ බුදුබව ලැබීම සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රේෂ්ඨ මංගල දිනයක්ම වන්නේමය.

තමන්වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය පන්සාලිස් වසරක් පුරා ගෙයින් ගෙට, ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට, වැඩම කොට බෙදා දී සසර කතරින් එතරවීමට මග වදාළ සර්වඥයන් වහන්සේ, වයස අවුරුදු අසූවේදී, පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් ද ”දේශනා කළ ධර්මයෙහි සැක ඇති තැන් විමසන ලෙසත්, අනලස්ව නිවනට සියල්ල සම්පාදනය කරගත යුතු බවත්” දේශනා කොට වදාරා අවසන් මොහොත ද පරාර්ථ චර්යාවෙන්ම ගතකොට පිරිනිවන්පා නිර්වාණ ධාතුවට එළඹුණු වෙසක් පුන් පොහෝ දිනය උතුම් මංගල්ල දිනයක් සේ සලකා කටයුතු කිරීම එදා සිට අද දක්වා බෞද්ධයන්ගේ සිරිතය.

බුදුබව ලබා පුරා වසරකට පසු ජන්ම ලාභය ලැබූ කිඹුල්වත් පුරයට වැඩමවීමත්, යමා මහ පෙළහර පා ඥාතීන්ගේ මානය බිඳහෙළීමත්, සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයක දීය. මෙසේ ඥාති සංග‍්‍රහය සඳහා කිඹුල්වත් පුරයට වැඩමවීම ද බෞද්ධ ලෝකයාගේ සදානුස්මරණයට හේතුවී ඇත.

බුදුසිරිත සම්බන්ධයෙන් සිදුවූ සිදුවීම් පමණක් නොව ලක්දිව ශාසනික හා දේශපාලනික ඉතිහාසයේ ඵෙතිහාසික සිද්ධි කීපයක්ම සිදුවී ඇත්තේ ද වෙසක් පුන් පොහෝ දිනයන්හිදී වීම ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට වෙසක් පොහෝ දිනය තවත් සුවිශේෂී වීමට හේතුවී ඇත. තථාගතයන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩමවා සමනොල ගිරි මුදුනෙහි සිරිපා පිහිටුවා වදාළේ වෙසක් පුන් පොහෝ දිනයකදීය. ලක්දිව සොළොස්මස්ථාන පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් අතිපූජනීය කළේ වෙසක් පුන් පොහෝ දිනයකදීය.

සිංහල ජාතියේ සමාරම්භකයා වශයෙන් සැලකෙන විජය රජුගේ ආගමනය සිදුවීම, දේවානම් පියතිස්ස මහ රජු දෙවන වරට අභිෂේකය ලැබීම, හා දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහාසෑය ගොඩනැගීම ඇරඹීම, යන ජාතික, ආගමික, දේශපාලනික වැදගත් සිද්ධීන් නිසා ද වෙසක් දිනය ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අනුස්මරණ දිනයක් වී ඇත.

මිහිදු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය ලක්දිව ස්ථාපනය කළායින් පසු වෙසක් පෝ දිනය ලක්දිව බෞද්ධයන්ගේ විශේෂ මහෝත්සව දිනයක් බවට පත්විය. එතැන් සිට අතීතයේ ලක්දිව රජවූ සියලූ බෞද්ධ රජදරුවෝ ශාසනික, ජාතික, සාමාජික, උතුම් උත්සව දිනයක් වශයෙන් වෙසක් පෝය දිනය මහා ඉහළින් සැමරූහ. ශීල භාවනාදී ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් ද දානාමානාදී නානාවිධ ආමිෂ පූජාවන්ගෙන් ද පි¥ අයුරු ඉතිහාසය පුරා විස්තර වේ. අදත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම නානාවිධ ආමිෂ ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් තථාගත ශාස්තෲන් වහන්සේ පුදති. සිහිපත් කරති. මෙදින මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවට ද සුවිශේෂී දිනයකි. වාර්ෂික වෙසක් පෙරහැර මංගල්ලය වීදි සංචාරය කරනුයේත් මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මය ආරම්භ කෙරෙන වාර්ෂික වාහලනාග උපසම්පදා පෙරහැර මංගල්ලය උභය මහාවිහාරයන් කරා ගමන් කරනුයේත් වෙසක් මස පුර පසළොස්වක පොහොය දින සිටය.

ක‍්‍රි. ව. 1770 නොවැම්බර් මස 01 වෙනි දින විල් හෙල්ම් පෛා්ල්ක් නම්  ඕලන්ද ආණ්ඩුකාරයා වෙසක් දිනය ඇතුළු පෝය දින අහෝසි කිරීමත්, ක‍්‍රි. ව. 1817 අපේ‍්‍රල් මස 05 වන දින බ‍්‍රවුන්ඩි‍්‍රක් ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා අංක 5 දරණ ආඥාවෙන් සබත් දිනය පැවැත්වීම අනිවාර්ය කිරීමත් නිසා වෙසක් දිනය පැවැත්වීමේ නිදහස බෞද්ධයන්ට අහිමිවිය.

එහෙත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, කර්නල් හෙන්රි සිටීල්  ඕල්කට් වැනි ගිහි පැවිදි බෞද්ධ නායකයන්ගේ අප‍්‍රතිහත ධෛර්යයයේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1885 දෙසැම්බර් මස 22 වන දින සතර පෝය හා ඊට පෙරදින වරුවක් නිවාඩු බවට පත්විය. එතැන් පටන් වෙසක් පුන් පොහෝ දිනය යළි බෞද්ධයන් නිවාඩු දිනයක් බවට පත්වූ නමුදු දැනට නිවාඩු වශයෙන් පවත්නේ පුර පසළොස්වක පෝය දිනය පමණි.

You Might Also Like

0 comments

"යමෙක් ධර්මය දකී ද හේ මා දකී"
~බුදුරජාණන් වහන්සේ~