මහා විහාර සම්ප‍්‍රදාය හා සබැඳි නිර්මිත පරිසරික අංග - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Sep 19, 2023

මහා විහාර සම්ප‍්‍රදාය හා සබැඳි නිර්මිත පරිසරික අංග

ශ‍්‍රී ලාංකීය ආරාම පිළිබඳව අධ්‍යයනය යොමුකිරීමේදී එහි විධිමත් වූ නිර්මිත පාරිසරික ස්වභාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ අනුරාධපුර මහා විහාර ආශ‍්‍රිතව ය. මෙම අනුරාධපුර මහා විහාර සංකීර්ණ ස්ථාපිත වී ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට ආසන්නවම වළල්ලක් ලෙස ය. මේ රාජකීය අනුග‍්‍රහය යටතේ වර්ධනය වූ නිර්මිත පරිසරයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ මුල් ම ආරාම සංකීර්ණය වූ අනුරාධපුර මහා විහාරයට සමගාමීව පසුකාලීනව අනෙකුත් විහාර සංකීර්ණයක් ද ඉදි වීමත් නිසා පොදුවේ මෙම ආරාම සංකීර්ණ ආශ‍්‍රිත සම්ප‍්‍රදාය හැඳින්වීමට ”මහා විහාර සම්ප‍්‍රදාය” යන්න ව්‍යවහාර කෙරේ.

 

ලක්දිව මුල් වරට බෞද්ධ භික්ෂූන් වෙනුවෙන් ආරාම නිර්මාණය කරනු ලැබුවේ ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී ඇතිවූ මහින්දාගමනය සමඟ ය. මෙහිදී ප‍්‍රථමයෙන්ම කරනු ලැබූ නිර්මාණ අතර ස්වභාවික ලෙන් කැපී පෙනෙයි. බුදු දහම ලක්දිව පිහිට වන අවස්ථාව වන විට ගෘහ නිර්මාණාත්මක හෝ ශිල්පී ශිල්පීය අතින් ලංකාවාසීන් එතරම් ප‍්‍රතිභාපූර්ණ ව නොසිටින්නට ඇති බව, මිහිඳු හිමියන් වෙනුවෙන් එක රැුයකින් තැනූ ‘කාල ප‍්‍රාසාද’ නම් ගොඩනැගිල්ල සැලකිල්ලට ගැනීමෙන් අනාවරණය වේ. සීඝ‍්‍රයෙන් වර්ධනය වූ භික්ෂු සංඝයා වෙනුවෙන් අවශ්‍ය ආරාම නිර්මාණය කරදීමට මේ නිසා රාජකීයයන් ඇතුළු පුරවැසියන්ගේ යුතුකමක් හා වගකීමක් විය.

 

එහෙත් හදිසියේ ම හඳුන්වා දෙනු ලැබූ ගෘහ නිර්මාණය හා කලාව ප‍්‍රයෝජනයට ගැනීමට කලින් එවකට තිබූ අවශ්‍යතාවය වෙනුවෙන් ස්වභාවික ගල් ලෙන් සකස් කොට භික්ෂූන්ට පූජා කිරීමට ජනතාවට සිදුවිය. ඒ අනුව පහසුවෙන් සකස් කර ගත හැකි ගල්ලෙන් පිරිසිදු කොට ඒවාට ආරක්ෂිත කටයුතු ද  සම්පාදනය කළේය. විශේෂයෙන්ම පර්වත දිගේ රූරා වැටෙන ජලය ලෙන් තුළට ගලා ඒම වැළැක්වීම සඳහා ඒවායේ ඉහළින් කටාරම් කොටන ලද බව පෙනෙන අතර මේ ලෙන් සෑද වූ පුද්ගලයන්ගේ නම් ද එහි කොටා තැබීය.

 

මූලික වශයෙන් කඳු ශිඛර ආශ‍්‍රිතව ලක්දිව පුරා ගල්ලෙන් සකස් කොට භික්ෂූන්ගේ ප‍්‍රයෝජනයට ගනු ලැබූ අතර පසුකාලීනව මේ හා සම්බන්ධව තවත් අපූරු ගොඩනැගිලිද ඉදිවන්නට විය. කරුණු එසේ වුවත් මෙහිදී ඉදිවී ඇති ගොඩනැගිලි හා වෙනත් නිර්මාණය පාරිසරික සාධක (නිර්මිත පාරිසරික සාධක යටතේ පරිසර සාධක ලෙස ගත් විට) වලට අනුකූලව ඉදිවූ අතර ඒ අනුව ලාංකික විහාර ආරාම නිර්මාණයේ දී පාරිසරික සාධක වල බලපෑමක් ද ඍජුව ම සිදු වූ බව පෙනී යයි.

 

මුල් කාලවල දී විදර්ශනා වැඩූ භික්ෂූන් වහන්සේලා ට පසුකාලීනව වතාවත්වල අවශ්‍යතාවයන් ද වූ බව පෙනෙනුයේ පිළිමගෙය, ස්ථූපය ආදිය මේ සම්බන්ධ ව ඉදිකරලීම තුළින් කඳු මුදුන් මත ස්ථූප තැනීම අනුරාධපුර අවධියේ දී කැපී පෙනෙන ලක්ෂණයක් විය. බොහෝවිට මේවායේ ඉදිකරනු ලැබුවේ ප‍්‍රමාණයෙන් කුඩා ස්ථූප වුවත්, ආරණ්‍ය සේනාසනය පිළිබඳව බොහෝ දුරට සිටින්නට පවා ඇතිකරනු ලැබුවේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් බව සත්‍යයකි.

 

නමුත් මහාවිහාර සම්ප‍්‍රදායේ ආරාම ලංකාවේ සෙසු ආරාම මෙන් නොව පුළුල් තැනිතලා භූමියක ඉතාම විධිමත් සැලැස්මකට අනුව ඉදිකරන්නට ඇති බව නිර්මිත පරිසරය අධ්‍යනයේ දී පෙනී යයි. විශේෂයෙන්ම අවකාශමය වශයෙන් ඇති ඉඩකඩ ප‍්‍රමාණය අනුව මෙහිදී ඉදිකරනු ලැබුවේ ප‍්‍රමාණයෙන් අති විශාල වූ ස්ථූපයක් හා එහි නොයෙක් අංගයන් ය. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීම, ශ‍්‍රමය හා නිර්මාණයේ දී ඇති පහසු බව නිසා ඉඩ ප‍්‍රමාණයට අනුව ස්තූපය උදාරත්වය පිළිබිඹු කිරීමට නම් එය අනිත් ගොඩනැගිලි අභිබවා සිටිය යුතු ආකාරයට නිර්මාණය කළ යුතු වූවක් විය.

 

ස්ථානීය වශයෙන් මෙන් ම හැඩය අතින් ද ස්තූපය නිර්මාණය පරිසරය හා දක්වන්නේ මනා සබැඳියාවකි. මිසරයේ පිරමිඩවල මෙන් බෞද්ධ ස්තූපයේ ද හැඩය අනුව ඒ මත වැටෙන ජලය පාවා පහසුවෙන් බැස ගියේ ය. මහා විහාර සම්ප‍්‍රදාය ආශ‍්‍රිත ආරාම ඉදි වී ඇත්තේ බොහෝ සෙයින් ජනයා ගැවසෙන විශාල තැනිතලා බිම්වල බැවින් මේවායේ කිසියම් සැලසුම් සහගත තත්ත්වයක් ද දක්නට ලැබේ. ඒ අනුව ප‍්‍රධාන ස්තූපය මැදිකොට ගත් සංඝාරාම සංකීර්ණ, පොකුරු වශයෙන් බිහි වී තිබේ. මහා විහාරයේ ථූපාරාමය, රුවන්වැලිසෑ දාගැබ, අභයගිරිය, සහ ජේතවන දාගැබ මෙහිදී උදාහරණ ලෙස දැක්විය හැකිය.

 

ඊට අමතරව ප‍්‍රාග් බෞද්ධ ඇදහිලි විශ්වාසයක් ලෙස මහින්දාගමනයට පෙර ඇතුව පැවතියත්, මහින්දාගමනයෙන් පසුව වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාව ලෙස බෞද්ධ මුහුණුවරකින් යුතුව මහාවිහාර සම්ප‍්‍රදාය ට පැමිණීම සුවිශේෂි වේ.බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා බෝධිය වටා ඉදිකරන ලද ගෘහය එනම් බෝධිඝරය ද මෙම නිර්මිත පාරිසරික අංග අතර කැපී පෙනෙයි. විශේෂයෙන්ම මහා විහාරයේ ජය ශ‍්‍රී මහා බෝධිය, අභයගිරිය ආයකාකාර බෝධිඝරය ඇතුළු බෝධිඝර කිහිපයක් මෙන්ම ජේතවනාරාමයේ අලංකාර ගරාදි වැටක් සහිත ආයත චතුරස‍්‍රාකාර බෝධිඝරය මෙහිලා කැපී පෙනේ.

 

මීට අමතරව උපෝසථාගාරය යනුවෙන් හැඳින්වෙන තවත් ගෘහ නිර්මාණයක් ද මහාවිහාර සම්ප‍්‍රදාය තුළ ගොඩනැඟුණු නිර්මිත පරිසරය තුළින් හඳුනාගත හැකිය. උපෝසථාගාරය යනුවෙන් ද හැඳින්වෙන පොහොය ගෙය, පොහොය කිරීම හා වෙනත් සංඝ කර්ම සඳහා භික්ෂූන් වහන්සේ එක්රැස්වන ගොඩනැගිල්ලයි. මෙම විනය නීති වලට අනුව සීමා බැඳීම් ආදියෙන් නිම කළ යුතු ගොඩනැඟිල්ලකි. ආවාස රැසක් ඇතුළත් සීමාවක එක් නිශ්චිත ගොඩනැගිල්ලක් උපෝසථාගාරයක් ලෙස සම්මත කෙරෙනුයේ පොහොය කිරීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිසය. ලංකාවේ පැරණිම උපෝසථාගාරය වන්නේ මහා විහාරයේ ලෝවා මහා ප‍්‍රාසාදය යි. ඊට අමතරව අභයගිරිය රත්නප‍්‍රාසාදය සහ  ෙඡ්තවනාරාමයේ දියසෙන් උපෝසථාගාරය ද මහා විහාර සම්ප‍්‍රදාය තුළ වූ විහාරාරාම වල නිර්මිත පරිසර අංග අතර ඉතා වැදගත් වූ නිර්මාණයන්ය.

 

තවද පටිමාඝරය ද ඉතාමත් කැපී පෙනෙන අංගයකි. ප‍්‍රතිමාඝර / පටිමාඝර යනුවෙන් හැඳින්වෙන්නේ පිළිම ගෙයයි. පටිමාඝරය කොටස් තුනකින් යුක්ත ය. ද්වාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භයයි. ථූපාරාමයේ බිම් සැලැස්ම පරික්ෂා කිරීමේ දී මේ අංග තුනම එහි පැවති බව දැකගැනීමට හැකිය.

 

අභයගිරියේ සමාධි බුද්ධ ප‍්‍රතිමාවත්, ජේතවන විහාර සංකීර්ණයේ සුවිශාල උළුවස්සක් සහිත පටිමාඝරය ඇතුළු තවත් පටිමාඝර කල්යත්ම මහා විහාර සම්ප‍්‍රදාය තුළ පටිමාඝරය  ට වැඩි ඉල්ලූමක් පැවති බව පෙන්වයි. තවද මේවා ගෙඩිගේ සම්ප‍්‍රදායට අනුව ඉදිකර තිබීම ද සුවිශේෂී ය. මහා විහාර සම්ප‍්‍රදායේ ආරාම සංකීර්ණ යන්හි නිර්මිත පාරිසරික සාධක ගොඩනැගීමෙහිලා බලපෑ ප‍්‍රධානතම අංගය වූයේ ඊට ලැබුණු රාජකීය අනුග‍්‍රහය හෝ වෙනත් ආකාරයෙන් ලැබුණු ප‍්‍රත්‍ය හා අනුග‍්‍රහයයි. විශේෂයෙන් ම මහා විහාර සම්ප‍්‍රදාය තුළ ගොඩනැඟුණු නිර්මිත පරිසරය බෙහෙවින්ම සංකීර්ණ වූවකි. එහි පරිපාලනය හා ක‍්‍රියාකාරිත්වය විධිමත්ව ගෙන යාමෙහි ලා ඉවහල් වූ ක‍්‍රමානුකූල සංවිධිත පරිසරයක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. එය එපරිද්දෙන්ම පැවති බව තහවුරු කෙරෙන නිර්මිත පරිසර අංග මෙම ක්ෂේත‍්‍ර තුළින් අනාවරණය කරගත හැකිය. මේවා හදුනා ගැනීමේදී සුවිසල් බත් ඔරු, කැඳ ඔරු, මෙන්ම භික්ෂූන් වහන්සේලා උදෙසා පැනවූ ආසන සහ ශිලා පතුරු ඇතිරූ මලූව, වේලාව දැන ගැනීම සඳහා සකස් කරන ලද හෝරා යන්ත‍්‍ර කැපී පෙනෙයි. රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති දාන ශාලාව අභයගිරිය හා ජේතවනයේ දාන ශාලා මේ සඳහා විධිමත් සාධක ගෙන හැර පායි.

 

සුවිසල් මහා විහාර සංකීර්ණ තුළ දැකගත හැකි තවත් වැදගත් නිර්මිත පරිසරික අංගයක් වන්නේ එහි ජල පරිහරණය සඳහා ඉදි කළ ජල මූලාශ‍්‍රවල උපයෝගීතාවය යි. මල්වතු ඔය, සහ හාල්පානු ඇළ ආශ‍්‍රිතව ජේතවනාරාමය පිහිටීම හා තිසා වැව හා බසවක්කුලම වැව ආශ‍්‍රිතව අභයගිරිය හා මහා විහාරය පිහිටීමත් නිසා එකී විහාරාරාම සඳහා මේවා මගින් මූලික ජල අවශ්‍යතා ඉටු කර ගන්නා ලදී. මීට අමතරව විහාරස්ථාන අභ්‍යන්තරයේ දෛනික ජල අවශ්‍යතාවන් සඳහා පොකුණු, ළිං ආදිය ඉදි කිරීමත්, ඊට ප‍්‍රවේශ වීම සඳහා පියගැටපෙළ ඉදිකිරීමත් නිර්මිත පරිසරයට එක් වූ අංගයන් අතර වේ. මෙලෙස ජල උපයෝගීතාවය යන සාධකය මත මහා විහාර සංකීර්ණයන් තුළ ඉදි වූ නිර්මාණ වලට උදාහරණ ලෙස කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, ජන්ථාඝර පොකුණ හා තිඹිරි පොකුණ ආදිය හඳුනා ගත හැකිය.


ජන්තාඝර (උණු පැන් හල) ශ‍්‍රී ලංකාව තුළ නිතර දැකිය නොහැකි දුර්ලභ ගණයේ ඉදිකිරීමකි. එසේම මෙය මහා විහාර සංකීර්ණවල අනිවාර්ය අංගයක් ලෙස ම ස්ථාපිත වී ඇත. මහාවිහාරය, ජේතවනය ආදී විහාර සංකීර්ණ වල මේවා දැක ගත හැකි අතර මිහින්තලය හා රිටිගල වැනි පධානඝර ආශ‍්‍රිතව ද කිහිපයක් දැකගත හැකිය. මෙවැනි ගොඩනැඟිල්ලකින් බලාපොරොත්තු වන්නේ උණුදිය නෑම හෝ හුමාලය ඇඟ වැද්දවීම බව පුරාවිද්‍යාඥයෝ පවසති. ජන්තාඝරය හුමාලය ඇඟ වැද්දවීමට හැකිවන පරිදි සකස් කිරීම තවත් විශේෂ ලක්ෂණයක් සේ පෙන්වාදිය හැකිය. අතිශයින් ම දියුණු වෛද්‍ය ශාස්ත‍්‍රයක ලක්ෂණ හා විවිධ ක‍්‍රම තිබූ බව මෙවැනි ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පෙනී යයි. ඊට අමතරව සෞඛ්‍යාරක්ෂිත ව ගොඩනංවන ලද වැසිකිළි හා කැසිකිළි පද්ධතියක් ද විය. අපද්‍රව්‍ය කළමනාකරණය හා විධිමත් ව පරිසරය ට බැහැර කිරීම සම්බන්ධව සුවිශේෂී ඥානයක් එවකට තිබුණු බව අඟවන ප‍්‍රභල ම සාක්ෂි හා සාධක මෙම මහාවිහාර ආශ‍්‍රිතව අදටත් දැකගත හැකිය.

 

මහාවිහාර නිර්මිත පරිසරය තුළින් පිළිබිඹු වන ප‍්‍රකට කරුණ නම් එහි වූ ගොඩනැඟිල්ලේ අවශ්‍යතාවය ට ගැළපෙන පරිදි සකසන ලද වාස්තුවිද්‍යාත්මක සැලැස්මයි. විශේෂයෙන් ම එක් එක් සම්ප‍්‍රදාය ට (මහායාන / ථේරවාද) ආවේණික ආකෘති මෙහිදී යොදාගැනීම ද සුවිශේෂී ය. තවද ගොඩනැඟිල්ලේ වර්ග අතර ආකෘතිමය වශයෙන් කිසියම් විකාශනයකට ද ලක් වී තිබේ. මෙහිදී අමුද්‍රව්‍ය භාවිතය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ශිලා මාධ්‍ය භාවිතය බහුලව සිදුකර ඇති බව යි. අමුද්‍රව්‍ය හැසිරවීමට ගත් තාක්ෂණය ද ඉතාමත් සුවිශේෂී ය. ගොඩනැඟිලි පාදම් සහ සුවිශේෂී කුළුණු, ප‍්‍රාකාර තැනීමට ශිලා භාවිතය හා ගොඩනැඟිලි බිත්ති නිර්මාණය ට ප‍්‍රමාණයෙන් විශාල ගඩොල් භාවිතය, වහල සඳහා වර්ණාලිප්ත උළු භාවිතය ආදී ලෙස අමුද්‍රව්‍ය පවා විවිධාංගීකරණයක් යටතේ භාවිතා කර තිබේ. තවද මීට කදිම නිදර්ශන ලෙස - තඹ උළු භාවිතය හා ගොඩනැඟිලි පිරිද්දීම් කටයුතු සඳහා තඹ ඇණ ආදී ලෝහ භාවිතය ද දැක්විය හැකිය.

 

මීට අමතරව ආගමික ප‍්‍රතිපත්ති මත අලංකරණ අංග යොදාගැනීම හෝ නොගැනීම ද, මහාවිහාර සංකීර්ණ තුළ වූ නිර්මාණාංග තුළ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි. විශේෂයෙන් ම විහාරයේ බොහෝ ගොඩනැඟිලි කැටයමින් තොරව නිර්මාණය කිරීමත්, වැසිකිළි පමණක් සැරසිලි හා කැටයම් වලින් අලංකාර කිරීම ත් මෙහිදී සළකා බැලීම වැදගත් ය. ආධ්‍යාත්මික සුවතාවය හා බෞද්ධාගමික දර්ශනය කිසියම් ආකාරයකට මේවා තුළින් පිළිබිඹු වේ.

 

මහාවිහාර සම්ප‍්‍රදායේ නේවාසික ගොඩනැඟිලි අංග ද සුවිශේෂී වැදගත්කමක් උසුලයි. නේවාසික ගෘහ බොහෝවිට මධ්‍යයේ විශාල ගොඩනැඟිල්ලක් ද, එයට මුහුණලා සෙසු කුටි හතරක් ද සහිතව පංචාවාස සැළසුමක පවතී. එම ඇතැම් ප‍්‍රධාන ගෘහයන් හි පිටුපස දැව තරප්පු සවිකළ ශෛලමය පාදම් ගල් ශේෂ වී ඇත. ඉන් ගොඩනැඟිල්ලේ උඩුමහල් තිබූ බව සනාථ වේ. ඊට අමතරව කුටි තුනක් සහිත අර්ධ පංචාවාස තත්ත්වය මෙන්ම කුටි හතරක් දක්වා සංකීර්ණ වූ අවස්ථා ද දක්වා තිබේ.

 

මෙකී මහාවිහාර බොහෝ විට අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස හා "මුල" ලෙස දෙස් විදෙස් භික්ෂු අධ්‍යාපනයේ අධ්‍යයන ආයතන ලෙස ද ක‍්‍රියාත්මක වී තිබේ. ඒ ඒ උපයෝගීතාවය අනුව නිර්මිත පරිසරය ගොඩනඟාගත් අයුරු උක්ත විමර්ශනය කරන ලද කරුණු ඇසුරෙන් විමර්ශනය කර බැලිය හැකිය. විශේෂයෙන් ම මහා විහාර සම්ප‍්‍රදායේ ආරාම සංකීර්ණයන් තුළින් ඉතා පුළුල් ක‍්‍රියාවලියක් දියත් වූ බව පෙනේ. වර්තමානයේ දී පවා එහි වූ සංකීර්ණ ක‍්‍රියාවලිය වටහා ගැනීමට ශේෂ වී ඇති නිර්මිත පරිසර සාධක මනා සේ උපයෝගී කර ගත හැකිය.






කේ. එම්. ජී. අර්ජුන මානගේ

සහකාර කථිකාචාර්ය,

ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය.


එස්.ජේ.එම්.එල්. අභිෂේක්

ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment