ඇසළ පෙරහර මංගල්ලය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ

12:58 AM

කන්ද උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් ප‍්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග‍්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප‍්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග‍්‍රහය ලබා දුන්හ. ශ‍්‍රී දළදා මාළිගාව හා අවශේෂ සිද්ධස්ථානයන් ද ශ‍්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන් ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප‍්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි. රාජකීය අනුග‍්‍රහය නැති වී යාමත් සම`ග එම කලා පරපුර වලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වින. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප‍්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත‍්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප‍්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබීම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.

අතිඋත්තම ශ‍්‍රී දළදාවහන්සේ විෂයෙහි පූජෝපහාරය දැක්වීම පිණිසත්, දෙවියන් උදෙසා භක්ති ප‍්‍රණාමය දැක්වීම පිණිසත් පැවැත්වෙන ලොව අන් කිසිදු තැනෙක දක්නට නොමැති තරම් පූජනීයත්වයක්, රමණීයත්වයක් හා චමත්කාරයක් විදහා දක්වන මෙම ඇසළ පෙරහර මංගල්ලයේ සිරි අසිරිය ලොවට විදහා දක්වන මූලිකාංග වන භේරී වාදනය, කවිකාර මඬුව, නාගසිංහම්, වෙස් නැටුම්, නයියන්ඩි, පන්තේරු, උඩැක්කි, රබන්, ලී කෙළි, සවරම්, කඩු සරඹ, තාලම්, හවඩි දගය, වේවැල් නැටුම, පතුරු නැටුම යන නර්තනාංග උඩරට මූලික නැටුම් සම්ප‍්‍රදායේ හා ගැමි නැටුම් සම්ප‍්‍රදායේ මිශ‍්‍රණයෙන් සැකසී ඇත්තේය. 

පංචතූර්ය නාදය මුසු කෙරෙන හේවිසි වාදනය පෙරහරේ ප‍්‍රමුඛතම අංගය වේ. ඊට ඇතුළත් දවුල, තම්මැට්ටම, හොරණෑව, හක්ගෙඩිය, තාලම්පට ආදී වාද්‍ය භාණ්ඩයන්ගෙන් නැගෙන හඬ මහනුවර වීදී දිගේ ඇදී ගොස් කන්ද උඩරට කඳුයාය පසු කර අවට ලෝකය පුරා විහිදී යන ආකාරය චමත්කාරජනකය. තේජස්වී ගතියෙන් යුක්තය. රසවත්ය. ඒ සුමධුර හඬ කොතෙක් වේලාවක් අසා සිටිය ද මදිය. ශ‍්‍රද්ධාව භක්තිය දනවන මේ මධුර හඬ සිත් සතන් එක්තැන් කරන භාවනාවක් බඳුය. 

ලක්දිව බුද්ධෝපස්ථාන බුදු පුද තේවා පූජා චාරිත‍්‍ර බොහොමයක් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මෙහෙයීමෙන් ශී‍්‍ර සංඝමිත්තා මහතෙරණිය ශී‍්‍ර මහාබෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩමවීමත් සම`ග ස්ථාපනය විය. හේවිසි පූජා චාරිත‍්‍රය එසේ ආරම්භ වූවකි. අනුරපුර කිත්සිරිමෙවන් රජු දවස (ක‍්‍රි. ව. 301 - 328) පටන් ආරම්භ වූ දළදා හේවිසි පූජා චාරිත‍්‍රය රාජධානි මාරුවීමත් සමග පරපුරෙන් පරපුරට පවත්වාගෙන විත් මහනුවර රාජ සමයේ ආරම්භක රජ වූ පළමුවන විමලධර්මසූරිය  (ක‍්‍රි. ව. 1592 – 1604) රාජ සමය වන විට, දඹදෙණි කුරුණෑගල රාජධානි වලදී ගම්වර දී පත්කරන ලද හේවිසි පරම්පරා වලින් ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල මාවතගම ඇතුළු ප‍්‍රදේශ), පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප‍්‍රදේශ) දුම්බරල මාතලේ ආදි ගම්වර ලැබූ හේවිසි පරම්පරාවන්ගෙන් පැවතගෙන එන මාලගම්මන (සුගත් මාලගම්මන), ඉහළවෙල (පී. කේ. ජී. එම්. ඉහළවෙල) මොළගොඩ (ඒ. ජී. ජේමිස්) උඩුවෙල ( ඕ. පී. කරුණාදාස) යන හේවිසි පරම්පරාවන්ගෙන් පැවත එන්නෝ අදටත් දළදා මාළිගාවේ තේවාවන්හි දී හා උත්සව මංගල්ලයන්හි දී හේවිසි පූජා නො කඩ කොට ඉටු කිරීමට දායක වෙති. යටකී ,පණික්කි, මුර හතරෙන් ඉහළවෙල පරපුර දවුල් බෙර වාදනයෙහි සමත්කම් දැක්වූ හේවිසි පරපුරකි. ඔවුහු නැටුම්, ගැයුම් හා බලි යාගයන්හි පමණක් නොව නක්‍ෂත‍්‍රයෙහි ද දක්ෂයෝ වූහ. වර්තමානයෙහි ඉහළවෙල පනික්කි මුරය භාර පී. කේ. ජී. එච්. ඉහළවෙල 1948 ජනවාරි මස 01 වන දින සිට දළදා තේවා හේවිසි පූජාවට සම්බන්ධ වී ඇති පැරණිතම සාමාජිකයෙකි. අවස්ථා කීපයකදීම ජනාධිපති සම්මානයන් ලැබූවෙකි. දක්ෂ දවුල් වාදන ශිල්පියෙකි.

සුගත් මාලගම්මන නියෝජනය කෙරෙන මාලගම්මන පණික්කි මුරය දක්ෂ කලා ශිල්පීන් රැසක් රටට දායාද කළ කලා පරපුරක් මෙන්ම කුඩා බණ්ඩාර නුගවෙල දියවඩන නිලමේතුමන්ගේ නිල කාලයේ සිට ශී‍්‍ර දළදා තේවා හේවිසි වාදනයේ අඛණ්ඩව යෙදී සිටින්නෝ ද වෙති. එසේම වසර කීපයකදී ජනාධිපති සම්මාන හා ත්‍යාග ද දිනා ඇත්තේය. මෙම පරපුරේ අය ම`ගුල් බෙර වාදනයට මෙන්ම වෙස් නැටුමට ද කොහොඹා කංකාරි ශාන්තිකර්මයෙහි ද බලි ශාන්ති කර්මයෙහි ද දස්කම් පෑවෝ වෙති.

දක්ෂතම හේවිසිකරුවන් රටට දායාද කළ මොලගොඩ පරපුරේ බී. ජී. නන්දිකා ගුරුන්නාන්සේ නැටුම් හා ගැටබෙර වාදනයන්ට නම් දැරූවෙකි. ඔහු තේවාවේ හේවිසි පූජාවට ද සහභාගි වූවෙකි. ඔහුගෙන් පසු ඔහුගේ දරුවෝ ද මුණුබුරෝ ද දළදා තේවා හේවිසි කාර්යයෙහි යෙදී සිටිති. වර්තමානයේ එම පරපුර නියෝජනය කරනුයේ ජේමිස් මොලගොඩය. හොරණෑ වාදනයේ නිරතව සිටින ඔහු ඒ හා සම්බන්ධයෙන් විශේෂ දස්කම් දක්වයි. හොරණෑ වාදනයෙහිදී දළදා අෂ්ටක හා මංගලම් කවි වාදනය කෙරෙයි.

උඩුවෙල පරපුරේ  ඕ. ජී. කරුණාදාස ස්වකීය පස්වන පරම්පරාව නියෝජනය කරමින් ශී‍්‍ර දළදා මාළිගාවේ හේවිසි පූජා රාජකාරිය ඉටුකරනු ලබයි. ඔහු දක්ෂ හේවිසි වාදකයෙකු වන අතර, වසර කීපයකදීම ජනාධිපති සම්මාන ද ලබා ඇත්තේය. ඔහුගේ පරපුරේ අය දවුල් ගැසීමට පමණක් නොව රබන් කළගෙඩි හා ලී කෙලි නැටුමට ද දස්කම් පෑහ.

ඇසළ පෙරහරේ පෙරමුණේ සිට සිදු කෙරෙන භේරී වාදනය ඉහත දැක්වූ පණික්කි මුර හතරේම එකතුවෙන් සැකසුනකි. පෙරහරේ භේරී වාදනය ආරම්භ වනුයේ පළමුව ඇතුළේ හේවිසි පුරා බහිරව වලිනඩය වාදනය කර කරඬුව ඇතා පිටට වැඩම වීම, ඇතා පිට කරඬුව තැන්පත් කරන තුරු තේවා හේවිසි වාදනය කිරීමෙන් අනතුරුව ගමන් හේවිසිය වාදනය කරමින් පාරට බැසීම, මගට පිවිස වලිනඩ වාදනය සහිත මාත‍්‍රා හේවිසිය වාදනය කිරීම, (වලිනඩ වාදනය සෑම හන්දියකදීම පාහේ සිදු වේ.) ජනාධිපති මැඳුරේ ගේට්ටුව අසළට ළගා වීමේ දී හේවිසි පහේ හේවිසි වාදනය ආරම්භ කොට සඳගල දක්වා එය පැවැත්වීම, සඳගල අසළට පැමිණීමෙන් පසු ගෙවැද්දුම් හේවිසියෙන් කරඬුව ගන්ධ කුටියට වැඩමවීම, ගන්ධ කුටියේ තැන්පත් කළ පසු ආලත්ති පදය වාදනය කිරීමෙන් දිනයේ කටයුතු අවසන් කිරීම දක්වා පියවරින් පියවරට සම්ප‍්‍රදායන්ට අනුකූලව සිදු කෙරේ. 

ශ‍්‍රද්ධා භක්තිය, කරුණා රසය, ශාන්ත රසය ආදී රසෝත්පාදනය වන අයුරින් මෙම වාදනයන් සිදු කෙරේ. භේරීවාදන හා නර්තන පරම්පරා අනුගමන කරන විවිධ චාරිත‍්‍ර පවතී. ඒ අනුව භේරී වාදකයන් පෙළ ගැසෙනුයේ ප‍්‍රවීණත්වය හා වයස් සීමා අනුවය. පළමුව වාදනය පිරීම නායකයා විසින් සිදු කරනු ලබයි. පෙරහර ඉදිරියට ගමන් කිරීම, ගෙවැදීම හා අවසන් කිරීම අනික් අයට සංනිවේදනය කරනුයේ පෙරමුණෙහි ගමන් ගන්නා හේවිසි කණ්ඩායම විසිනි. ශිල්ප ශාස්ත‍්‍ර නිසි ලෙස ප‍්‍රගුණ කර නැති අය පෙරමුණේ වාදනයන්ට සහභාගි කරගන්නේ නැත. ඇසළ පෙරහරේ භේරී වාදනය සිදු වනුයේ උතුම් පෙරහර කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාගේ ගමන් විලාසයත්, දියවඩන නිලමේතුමාගේ ගමන් විලාසයත්, නැටුම් ශිල්පීන්ගේ රැගුම් රිද්මයත් මිශ‍්‍රිත වූ නාද රිද්මයකටය.

ඇසළ පෙරහර මංගල්ලයට ඇතුළත් නැටුම් අතර වෙස් නැටුමට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලයට වෙස් නැටම් එක් වූයේ ක‍්‍රි.ව. 1919 සිටය. වෙස් නැටුම පෙරහර මංගල්ලයට සුවිශේෂී චමත්කාරයක් එක්කොට දෙයි.

අතීතයේ දී වෙස් නැටුමෙන් ඇසළ පෙරහර මංගල්ලය ශෝභාමත් කළ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් විශිෂ්ට නර්තන ශිල්පියෙකි. වර්තමානයෙහි වෙස් නැටුම් ශිල්පීන් අතර ප‍්‍රවීණ නර්තන ශිල්පියෙකු වශයෙන් හ`ගුරන්කෙත, පොල්වත්තේ ජන්ම භූමිය කර ගත්, 1940 ජනවාරි මස 13 වන දින උපත ලැබූ අරුප්පල මුණ්ඩාදෙණියේ ගෙදර ශ‍්‍රී ලංකාතිලක පීටර් සූරසේන නර්තන ශිල්පියා හඳුන්වා දිය හැකිය. ඔහු උඩරට නැටුම් කලාවේ මහත් කුසලතා පූර්ණත්වයක් දැක්වූ හ`ගුරන්කෙත සොබනා ගුරුන්නාන්සේගේ මුණුබුරාය. දක්ෂ නැට්ටුවෙකු වූ මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයා ගුරුන්නාන්සේගේ ආදරණීය පුත‍්‍රයාය. විදේශයන්ගේ පවා නමක් දිනාගත් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ඔහුගේ මාමා කෙනෙකි. දක්ෂ පාරම්පරික නැට්ටුවෙක් වූ අමුණුගම ආර්.ඩබ්.ජී. සුරඹා ගුරුන්නාන්සේගේ ඥාතියෙකි. මහාබද්ධ නැකති පරපුරෙන් පැවතගෙන එන මොහු කලක් නැටුම් ගුරුවරයෙක් වශයෙන් දිවයිනේ ප‍්‍රදේශ කීපයක සේවය කොට දක්ෂ සිසු පරපුරක් බිහි කර ඇත්තේය. විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව සේසත සූරසේන කලායතනය ස්ථාපනය කොට ස්වකීය පාරම්පරික නැටුම් කලා උරුමය අනාගත පරම්පරාවට දායාද කරමින් පසුවේ.

ක‍්‍රි.ව. 1958 දී පළමු වරට නයියන්ඩි නැටුමෙන් මාළිගාවේ පෙරහරට දායක වූ ඔහු, කලක් විෂ්ණු දේවාලයේත්, පත්තිනි දේවාලයේත් පෙරහරට සහභාගි වී ක‍්‍රි.ව. 1970 සිට වෙස් නැටුම සඳහා සම්බන්ධ විය. 1986 සිට දළදා මාළිගාවේ පෙරහරේ වෙස් නැට්ටුවෙක් ලෙස සහභාගි වේ. උඩරට නැටුම් කලාව අනාගතයට උරුම කර දීමටත්, ඇසළ පෙරහර මංගල්ලයේ ශ‍්‍රී ශෝභාවය තීව‍්‍ර කිරීම සඳහාත්, තම පාරම්පරික කලාව සිය වැඩිමල් පුත් කුශාන්ත ප‍්‍රදීප් කුමාර සූරසේන පුතාටත්, ජානක සූරසේන පුතාටත් දායද කළේය. ඔවුහු 1988 සිට පෙරහට සහභාගි වෙමින් පියා මෙන් දස්කම් දක්වති.

නැටුම් කලා ශිල්පියෙකුට උතුම් පෙරහර කරඬුව අසළින්, දියවඩන නිලමේතුමා ඉදිරියේ නර්තනය ඉදිරිපත් කිරීමට ලැබෙනුයේ කුසලතා පූර්ණ දක්ෂ නර්තන ශිල්පීන්ට පමණි. එම භාග්‍යය දිනාගත පීටර් සූරසේන මහතා දියවඩන නිලමේතුමන්ට ඉදිරියෙන් දකුණු පස සිට ස්වකීය දක්ෂතා නරඹන්නන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කරනුයේ ස්වකීය ප‍්‍රවීණත්වය මැනවින් විදහා දක්වමිනි. ඔහු වසර ගණනාවක සිට ජනාධිපති සම්මාන, සහතික පත්, මූල්‍ය ප‍්‍රදාන ලබා ගනී. වියපත්ව මනා දක්ෂතා ප‍්‍රදර්ශනය කරන මෙම කලා ශිල්පියාගෙන් අවශේෂ කලාකරුවන්ට ගත හැකි ආදර්ශ බොහෝය. ස්වකීය පුතුන් දෙදෙනාට තමා උරුම කර ගත් කලාව සහ නැටුමේ ස්ථානය මනාව ප‍්‍රගුණ කරවා එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමට දුර දක්නා නුවණින් කටයුතු කිරීම අසිරිමත් පෙරහර මංගල්ලයේ අසිරිමත් බව වඩා වර්ධනය කිරීමටත්, සුවිශේෂී නර්තන ශිල්පයක් වූ උඩරට නර්තන කලාව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දැක්වීමටත් හේතු සාධක වනවා නිසැකය.

උඩරට සමාජයේ සුවිශේෂී පැතිකඩක් වන උඩරට නැටුම් හා වාදන කලාකරුවන්ගේ කුසලතා මුළු ලොවටම ප‍්‍රදර්ශනය කෙරෙන අසිරිමත් වේදිකාවක් වන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය තුළින්, පරපුරින් පරපුරට දායාද කර ගත් ස්වකීය උරුමය හා හැකියාවන් ඉස්මතු කෙරෙන උඩරට නර්තනයන් හා වාදනයන් නරඹමින් සිටින දෙස් විදෙස් කාගේත් නෙත් සිත් වශීකෘත වේ. ගජගා වන්නමේ නැටුම් රිද්ම රටාව අනුගමනය කරමින්, වාදන හඬ නංවමින්, තාලානුරූපව පාද තබමින් ඉදිරියට ඇදෙන පෙරහරේ දර්ශනීයත්වය මෙන්ම චමත්කාරය ඉස්මතු කෙරෙන උඩරට කලාකරුවාගේ අනුපමේය කුසලතාවන් අගය කිරීමත්, ඔවුන් සතු ජීවන බර කෙතෙක් දැයි විමසා බලා විසඳුම් සෙවීමත් පෙරහරේ විචිත‍්‍රත්වය හා මහාර්ඝත්වය අත්විඳින කාගේත් පරම යුතුකම වන්නේය.

- කේ. මීගහකුඹුර -

You Might Also Like

1 comments

  1. What I don't like most is the PAPARE band playing at the Katharagama Devalaya Perahara which recently added and ruining the whole spirit and our traditional and cultural flavor. It ruins all the peaceful mind at the end.

    ReplyDelete

"යමෙක් ධර්මය දකී ද හේ මා දකී"
~බුදුරජාණන් වහන්සේ~